Friday, June 21, 2019

මහා කලු සිංහලයා සහ පෝලෝ වන්නම





            මේ කියන්න යන්නෙ වළගම්බා රජ්ජුරුවො ගැන නම් නෙවෙයි. විසි එක් වෙනි සියවසේ මහා කළු සිංහලයෙක් ගැන. වෙනත් විදියකින් කියනවා නං අපිට ඉස්කෝලෙ නවය වසරෙ සිංහල උගන්නන්න ආපු සිංහල සර් ගැන. ඉගැන්නුව කිව්වට මේ පීරියඩ් එහෙකින් සියේට හැත්තෑ පහක් අසූවක් විතරම (ඊටත් වැඩිද මන්ද) ඉගැන්නුවෙ අර “මං පොර” කියල ජාතක කතාවක් තිබ්බෙ. අන්න ඒක! 

අපේ සර් ගැන පිටු විස්සෙ තිහේ සාහිත්‍ය විචාර ලියන්න තරම් දැනුමක් අපිට ඒ කාලෙ එතුමා ලබාදීල තිබ්බ. වැඩි හරියක්ම සිංහල පීරියඩ් වල අපි ඉගෙනගත්තෙ අපේ සිංහල සර් ශ්‍රී ලංකා ගුවන් විදුලියෙ ඒ ශ්‍රේණියෙ වාදකයෙක් කියන එක, එළි වෙනකම් බෙර ගහපුවා සහ දුෂ්කර පලාත් වල කරපු කියපු දේ තමා.😁😁😁

    මේ සර්ට ඒ අන්වර්ථ නාමය දීල තිබ්බෙ කලුම කලු පෙනුම සහ කතා කරන විලාශය නිසා වෙන්න ඕන. සුද්ද සිංහල වචන එහෙම යහමින් පාවිච්චි කරනවා කතා කරනකොට. ඒ වාග් විලාසය කොහොමද කියනවනං සමහර මිස්ලා ඔය සර්ට වැඩිය මූණ දෙන්න බයයි, ඇයි ඉතිං මොකක් හරි කට කැඩිච්චි කතාවක් හෝ උපහැරණයක් කියනව. ඔය නම සෑහෙන කාලෙක ඉඳන් වහරේ තියෙන එකක්. සිංහල සර් පට්ට සැරයි. පොඩි වරදටත් ඉතිං හොඳට සම්බුව හම්බු වෙනව. කොහොමහරි අපේ පන්තියේ එවුන් එකෙක් වත් මේ සර්ට පේන්න බෑ ඒ කාලෙ.


   සිංහල සර් කොච්චර සැරපරුෂ උණත්, මොන ජලගුටි දුන්නත් අපි ඉතිං අපේ පුරුදු අතෑරියෙ නෑ. ඒ කාලෙ සිංහල පෙළපොතේ තිබ්බ ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන්ගෙ “ලංකා මාතා” කියන කවි පෙළ. දවසක්දා සිංහල සර් පන්තියට ඇවිල්ලා අපිට ඔය කවි පෙළ තාලෙට කියන්න කියල කිව්ව. ඒත් එක්කම අපි දැක්ක අල්ලපු පන්තියට මිස් කෙනෙක් අපේ පන්තිය ගාවට ආව සිංහල සර්ව හම්බවෙන්න. ඔන්න ඉතින් සර් අපිට කවි කියන්න කියලා එළියට ගිහින් අර මිස් එක්ක කතා කරනව. දැන් ඔන්න එකපාරක් අර කවි පන්තිය කියලා ඉවරයි. දෙවෙනි පාරත් පටන් ගන්න හදන්නෙ අපි මේක.

 අපේ පන්තියෙ හොස්ටල් සෙට් එක හිටියෙ වෙනම වාඩිවෙලා එකළඟ.(හොස්ටල් සෙට් එකේ මාර එකමුතුවක් තිබ්බා ඒ කාලෙ. උන් රැස්වීමකට ප්‍රධාන ශාලාවට හරි නවරඟහලට හරි ගියාමත් වාඩි වෙන්නෙ එකට.)  මේ සින්දුවෙ එකෝ එක පටන් ගන්න මූලික වෙච්චි හාදය පස්සෙ අන්තරේ පෙරළිකාර නායකයෙක් උණා. බාගදා මේක ඌත් කියවනවා ඇති. මම නම් ගම් කියන්න යන්නෙ නෑ ඉතිං. ඔය කවි පන්තිය මෙන්න මෙහෙමයි තියෙන්නෙ.


“බෑ ඉවසන්නට බෑ ඉවසන්නට අම්මෙනි පෙම්බර                ලංකා
මා සිත ගින්නෙහි ලූ ලුනු පෙන් පුපුරන්නෙය කෝප       විකාරෙන්
ඈ සනසන්නට සිංහල ලේ ඇති සිංහල කොල්ලකු             අය්යෝ
දැන් උපදින්නෙම නැද්ද උපුල්වන්දෙව්රජුනේ ලක             රක්නා


ඔන්න ඉතිං දෙවෙනි කියවුම පටන් ගත්තෙ අඹයා,


“බෑ ඉවසන්නට බෑ ඉවසන්නට අම්මෙනි පෙම්බර               ලංකා....(ලංකා)
මා සිත ගින්නෙහි ලූ ලුනු පෙන් පුපුරන්නෙය කෝප විකාරෙන්....(කාරෙන්)
ඈ සනසන්නට සිංහල ලේ ඇති සිංහල කොල්ලකු         අය්යෝ...(අය්යෝ)
දැන් උපදින්නෙම නැද්ද උපුල්වන්දෙව්රජුනේ ලක          රක්නා...(රක්නා)

            අඹයත් එක්ක පන්තියෙ අනිත් උනුත් තාල අල්ලලා කවි කියත්දි හොස්ටල් සෙට් එකෙන් මේකෙ අන්තිම අකුරු තුන අනු නාද (Echo) කරනවා.(ඔය වරහන් ඇතුලෙ තියෙන්නෙ ඒ එකෝ එක) දැන් මේ ආතල් එක නැගලා යනවා ඔන්න. එන්න එන්නම සද්දෙත් ටිකක් වැඩිවෙලා අපි දන්නෙම නැතුව. පන්තියෙ අඟල් දෙකේ දෙකේ දැල් ගහල තිබ්බ ජනේලෙන් ඇතුළට මහා කළු සිංහලයාගෙ කැමරාව එල්ල උණා අපි දැක්ක එකපාරටම.

 ලොවෙත් දැන් මේ අපේ විගඩම ඇහිලා තමා බලන්නැත්තෙ. ඒ බැලුව කියල අපි සැලුනද? නෑ පිංවතුනි. කවියෙ ආතල් එක වැඩි කමට කවිය සින්දුවක් වෙලා ලාවට බෙර නාදෙකුත් පන්තියෙ කොහේදෝ කොනකින් මතුවෙන්න ගත්ත ඔන්න.  සිංහල සර් හිතුවෙ දෙපාරක් විතර පන්තිය දිහා බැලුවාම අපි බයවෙල අරක නවත්තයි කියල. මොන පිස්සුද, ඒ වෙලාවෙ ප්‍රින්සිපල් ආවත් නවත්තන්නෙ නැති සයිස් එකට ඒ ආතල් එක අපිව මත් කරලා තිබ්බෙ. දැන් ඉතිං සර් පන්තිය දිහා බලනවා, ආයෙම අර මිස් එක්ක කතා කරනව, ආයෙම අපි දිහා බලනව, මිස් එක්ක කතා කරනව. 


දැන් සර්ට අපෙ කටවල් වහන්නත් ඕන, ඒ උණාට අර වැදගත් කතාව නතර කරල එන්න හිත් දෙන්නෙත් නෑ. සෑහෙන වෙලාවක් කන් දෙකයි ඇස් දෙකයි එක්ක ඔට්ටු වෙලා බැරිම තැන රැවුලයි කැඳයි දෙකම බෑ කියල තේරුම් ගත්තු මහා කළු සිංහලයා කෙළගෙන ආපි පන්තිය ඇතුළට. එතකොටත් අර ගායන වාදන පෙර පරිදිම ගලාගෙන යනවා.


    පන්තියට ඇතුලු වෙන තැනම කෙළවරේ හිටි එකාගෙ මේසෙ උඩ තිබ්බ තඩි ගණන් පොතක් අතට ගත්තු සර් “සටස්, සිරිස් ,චහ්, දහ්!” ස්වරයෙන් ඉස්සරහම පේළියෙ හිටි හතර දෙනාගෙ ඔලුගෙඩි වලට අංක අනුව පිළිවෙලින් ආශිර්වාද කරනකොට තමයි පන්තියෙ එකා දෙන්න අර සින්දු කරපු කවියෙ මීහිරෙන් මිදිලා පියවි ලෝකෙට ආවෙ.


“තොපිට මං කිව්වෙ කයි කියන්න මිසක් කයි පහන්න නෙවෙයි යකෝ” වේරම්භ වාතයක් වගෙ ගර්ජනාවකින් පන්තිය දෙදරවාගෙන මහ කළු සිහළ නාදය පැතිරෙන්න ගත්තා.


“ඒත් එක්කම කට පියාගෙන ඉන්න බැරි කමට අපේ “අකා” (ඇකා නෙවෙයි ඈ)
“බුහ් හහ් හහ් හා...” ගාල හිනා උණා. මේක ටිකක් හයියෙන් ඇහුණා, මොකද ඒ වෙලාවෙ එකපාරටම පන්තිය නිශ්ශබ්ද වෙච්චි නිසා.
   මම හිතන්නෙ මේ වගෙ සිද්ධි අනන්ත වෙලා ඇති හැමෝටම. ඉඳල හිටලා පබ්ලික් ෆෝරම් එහෙක මොකක් හරි කට කැඩිච්චි කතාවක් හරි දෙපිට කැපෙන වචනයක් හරි කියනකොට ඒ මොහොතෙම වටාපිටාව හරි අමුතු විදියට නිස්සද්ද වෙලා යනවා. එහාපැත්තෙ ඉන්න එකාට විතරක් ඇහෙන්න කියල හිතාගෙන කියන දේ ගව් ගාණක් දුර රැවි පිලිරැව් දීගෙන ඇහෙනව. මම නං ඒ වගෙ කුජීත අවස්ථා වලට අනන්ත මුහුණ දීල තියෙනව. ඒක එදා අද කියල ලොකු වෙනසක් ඇත්තෙත් නෑ හැබැයි.
අකා ගෙ හිනාව ඇහිච්චි සිංහල සර්ට දැන් තවත් මළ.

 “මෙහෙ වර තෝ පරය”

 කියල ඉඳගෙන හිටි පුටුවෙන් නැගිට්ටලා ළඟට කැන්දලා ටොකු දෙකක් තුනක් ඇනල අකාගෙ හිස් කබලෙ ශක්තිය උරගා බලපු සර් කණත් වට දෙකක් විතර කරකෝලා අකාව පන්තිය ඉස්සරහට ගෙනල්ල කලු ලෑල්ලට එහායින් බිත්තිය බලාගෙන හිට්ටෝල තිබ්බ.


    ඔහොම තියලා පුටුවෙ හරි බරි ගැහිලා පන්තියට ජාතිය ඇමතීමකුත් කරල ඉතිං දැන් මහා කළු සිංහල උත්තමයා අර පැදි පෙළේ තේරුම කියනවා. අපි මීක් නැතුව අහගෙන ඉන්නව. ඔය අල්ල පනල්ලෙ පනිෂ්මන්ට් එකත් ආතල් එකට ගත්තු අකා අපිට පේන්න එක එක විකාර කරනව දැන් බිත්තිය දිහා බලාගෙන. ඔහොම ඉන්න ගමන් මිනිහ පන්තියට පේන්න දෙපරැන්ද වනන්න ගත්ත.(ඔව් ඔව් පුක තමා) 

ඉස්සර ටීවී එකේ පෝලෝ ඇඩ් එකක් ගියා මතකද වයසක සීය කෙනෙක් පෝලෝ එකක් කාල පස්ස වන වන අමුතු ඩාන්ස් එකක් දැම්මෙ. අකා දැන් ඒ නැටුම නටන්න ගත්ත. ගුරු පුටුවට පිටිපස්සෙන් හිටි නිසා සිංහල සර්ගෙ දර්ශන පථයට අකාව පේන්නෙ නෑ ඉතිං.


   සිංහල සර් කවියෙ තේරුම කියනවා, අකා ඉඳගෙන පෝලෝ වන්නම නටනවා. මේක බලාගෙන ඉන්න පන්තියෙන් “හිකි හිකි” සද්දෙ එනව. මේක ඇහුණ මහා කළු සිංහල තුමාට තේරුණා අරූ මොකක් හරි විගඩමක් නටනව කියල. එකපාරටම හැරිල සර් අකා දිහා බැලුව. ටිකක් වෙලා අකා දිහා බලාහිටි සර්ගෙ මූනෙ මාංශ පේශි වඩිග පටුන නටනවා අපි දැක්ක. එක පාරට පුටුවෙන් නැගිට්ට සර් අකා ගාවට ගියා. දැන් පන්තියම තක්කු මුක්කු වෙලා කට බලියගෙන බලං ඉන්නව ඊළඟට වෙන්න තියෙන බයානක සිද්ධිය ගැන හිතාගන්න බැරුව.

 දිග ඇරපු වටාපතකින් වේගෙන් පවන් සලන්නා වගෙ දිහ්! ගාල අතුල් පාරක් අකාගෙ කුඩාමොළේ තියෙන හරියට පතිත උණා. එහෙම්මම දිඩිස් ගාල කළු ලෑල්ල සිප ගත්තු අකාව පෙරේතයා පොළොවේ ගහන්න වගේ බිම පත බෑවුණා. දනිපනි ගාල නැගිට ගත්තු අකාට තවත් රසවත් කණේ පාරවල් දෙකකින් සංග්‍රහ කරනවත් එක්කම ට්‍රීඊ...............ඊං ගාල බෙල් එක වැදුණා අකාගෙ වෙලාවෙ හොඳ කමට.

 මේකට පහුවදා අපිව අල්ලගන්න සපථ කරපු සිංහල සර් දෙස් තිය තියා පන්තියෙන් එළියට බැහැලා යන්න ගියා.

***
ප.ලි.- මහා කළු සිංහලයා සබැඳි කතා පෙළ ඉවර නෑ, තව ඉස්සරහටත් තියෙනව.


2 comments: