Thursday, July 18, 2019

පත්තරේ...




           මේ කියන්න යන්නෙ ටිකක් විතර පරණ කතාවක්. ටිකක් විතර දිගයි හැබැයි. මේ කතාව ලියන්න හේතු පාදක වෙච්චි කාරණාව මහප්‍රාණ අහම්බයක්. මේකෙ ඉන්න චරිත ඒ කාලෙ වහරේ තිබ්බ රියල් අන්වර්ථ නාම වලින්ම හඳුන්වන්නම්. සමහරවිට අදින් පටන් ගන්න කතාව ඉදිරියට ඇදෙන්නත් පුළුවන් මේ වගෙ තව තව සිද්ධි එක්ක. එතකොට මේකෙ ඉන්න චරිත නැවතත් ඕගොල්ලන්ට හම්බවෙයි.( මේක දැම්මට පස්සෙ මරණ තර්ජන කීයක් එයිද දන්නෙ නෑ ෂුදේව!)

එදා සඳුද දවසක්, මම ඔෆිස් එකේ ඉඳන් කාමරේට ඇවිල්ලා නා කියා ගෙන ෂෝටකුත් ගහගෙන පුටුවක් උඩ වාඩිවෙලා මිස් වෙච්චි ඉරිද පත්තර ටික අරන් කියවන්න කියල සෙට් උණා විතරයි ෆෝන් එක බෑඟිරි දෙන්න ගත්ත මේසෙ උඩ. මම දැන් හතර පාරක් මේ පත්තරේ දිගාරින්න ට්‍රයි කරනවා, පළවෙනි පාර කරන්ට් එක ගියා,විනාඩි දහයකින් විතර ආව හැබැයි. දෙවෙනි පාර පත්තරේ දිගාරින්න හදනකොටම රබර් ඇටයක් විතර බටු මීයෙක් කකුල උඩින් දිව්ව. ඌත් එක්ක විනාඩි දහයක් පහලොවක් ඔට්ටු වෙලා කාමරෙන් එළියට දාගත්ත යන්තං. තුන්වෙනි පාර පත්තරේ දිගාරින්න හදත්දි අල්ලපු කාමරේ එකා ඇවිල්ල දොරට තඩිබාලා මදුරු කොයිල් එකක් ඉල්ලගෙන ඒ වෙනුවෙන් අපේ හත් මුතු පරම්පරාවට සහ ඉදිරියට උපදින්න ඉන්න පරම්පරා හතකට විතරම පින් දීල දොහොත් මුදුන් තියල අර කොයිල් එක ඉල්ලගෙන ගියා.මේ දවස් ටිකේ ඒ තරමට මදුරුවො. ඔන්න ඔහොම ඉතිං මිනිහවත් පිටත් කරල ආයෙම පුටුවේ වාඩි උණා විතරයි. මෙන්න මේ මගුල වදිනවා. ඒකෙ සද්දෙ මදිවට මේසෙ උඩ ග්‍රීස් ඩ්‍රීස් ගාල එහෙ මෙහෙ දුවනවත් එක්ක. ඒකට තවත් මල පයිනව ඉතිං. ( සාමාන්‍යයෙන් අපේ ෆෝන් එකේ රින්ග් ටෝන් එක ඇහෙනකොට ස්ට්‍රෙස් එක එහෙමත් නැත්තන් මානසික ආතතිය වැඩිවෙනව කියල මං අහල තියෙනව. ඒක නිසා මාසෙකට දෙකකට සැරයක් ෆෝන් එකේ රින්ග් ටෝන් එක මාරු කරන්න පුළුවන් නම් හොඳයි.) වැල් වටාරං ඇති, ආයෙම මාතෘකාවට එමු.
ඔන්න ඉතිං මං විරවගෙන, කලින් තුන් පාරක්ම කොමා වලින් අල්ලගෙන හිටපු,පත්තරේ කියවන්න තිබ්බ ආසාවට තඩි නැවතීමේ තිතකින් ගහල ඒක මරලාම දාල, පත්තරේ පුටුව උඩට දමලගහල ෆෝන් එක අතට අරං බැලුව මොකාද මේ කියල. කෝල් එක මොකාගෙන්ද කියල දැක්ක ගමං ජින්ජර් බිස්කට් කෑව වගෙ මූඩ් එක ෆික්ස් උනා.

අම්මටසිරි!

කෝල් එක අඹයගෙන්. අඹය කියන්නෙ ඉස්කෝලෙ කාලෙ ඉඳන් මගෙ අතිජාත මිත්‍රයෙක්. කොටින්ම කියනවානං අපේ සෙට් එකේ මහමොළකරු කිව්වත් වඩා නිවැරදියි. මොකද ඒ කාලෙ අපි ගහපු ගේම් ගොඩක් මූ තමා ප්ලෑන් කරෙ. සෑහෙන කාලෙකින්, මං හිතන්නෙ අවුරුද්දකින් විතර අඹයා එක්ක පොල් කඩන්න බැරිවෙච්චි නිසා ඉතිං පැය බාගයකට වඩා ආගිය තොරතුරු කතා කර කර හිටියා. ඔහොම ඉතිං කතා කරල ඉවරවෙලා මූ මගෙන් ඇහුව මොකද කරන්නෙ කියල. මම ඉතිං උට කිව්ව පත්තරේ බලන්න හතර පාරක් අතට අරං ආයෙ අකුලෝපු සිද්ධිය. එතකොට මූ අහපි,

“අඩෝ උඹට මතකද ඉස්සර පත්තර බලපු හැටි” කියල

ඔන්න ඉතිං ආයෙම හිත අතීතෙට දිව්වෙ ආලෝකයට වත් හිතාගන්න බැරි තරමෙ වේගෙකින්. ඒව මතක් වෙනකොට ඒ කාලෙ වෙච්චි රස සිද්ධි එකින් එක ලියන්න පුලුවන් නම් හොඳයි කියන අදහස අඹය මගෙ ඔලු කට්ට ඇතුළට එබුවෙ.
ඒත් ඉතිං ඉස්සර වගෙ නෙවෙයි, දැන් ලියන්න කම්මැලියි අප්පා. මගෙ හිත කුම්භකර්ණයා වගෙ නිදි තාම.
“මතකත් නෑ බං ඒ කාලෙ එව්ව හරියට”

 මමත් ඉතිං ටිකක් අදිමදි කරා.

 “චතුවා උඹ ලියපන්, මම මතක් කරල දෙන්නං. අනිවා උඹ මේක කරන්නම ඕන පුතේ”

 ඔන්න ඉතිං අඹයා මගෙ කුම්භකර්ණ හිතට මාස 6ක් තිස්සෙ ගිලින්න තඩි කෑම කරත්තයක් දෙන්න පොරොන්දු උණා. ඉතින් ඔය පොරොන්දුව නිසා ආයෙම ලියන්න ඕන කියල පොඩි ආසාවක් නලියන්න ගත්ත. ඒ අනුව ඉතිං පරණ සිද්ධියක් මතක කරල දීලම අඹයා ෆෝන් එක තිබ්බ.
මං ඉතිං පහුවදාම ලියන්න කියල පටන් ගත්තා, කොහොමින් කොහොම හරි ඒ සතියෙ ආයෙ ලියන්න හිත යොමු කරගන්න හම්බ උණේ නෑ අවුරුදු දවස් නිසා වෙන වෙන වැඩ සෙට් උණා. ඒ අල්ලෙ පනල්ලෙ පාස්කු දවසෙ මුලු ලෝකෙම සලිත කරවන කුරිරු සිදුවීම් මාලාවක් වෙලා මුලු රටම මෙච්චර දවස් දුවපු සිස්ටම් එක පොඩ්ඩක් අවුල් වෙලා ගියා. ඒ සිද්ධි දාමය නොනැවතී එක එක මුහුණුවරින් මතුවෙත්දි රාජකාරි වැඩත් ඉහට උඩින් එන්න උණා. එදා ඉඳන් මාසයක් ගතවෙච්චි තැන ආයෙම මතක් උණේ. “හුටා යකෝ මම ලිය ලියා නේද හිටියෙ කියල.

ඔන්න ඉතිං ආයෙම ගැහුව අඹයට කෝල් එකක්, මෙමරිය පොඩ්ඩක් දූවිලි පිහලා, මකුළු දැල් හෙම කඩලා බ්‍රාසො ටිකක් දාල ඔප දාල ගන්න කියල හිතාගෙන. ඒ කෝල් එකේ ප්‍රතිඵලයක් හැටියට මම මෙච්චර දවස් ලියපු ටික එහෙම්මම තියෙද්දි අලුතෙන්ම, අමුතුවෙන්ම ආයෙ ලියන්න කියල හිතාගෙන ආයෙම වැඩේට බැස්ස.
ඔන්න ඕක තමා ඉතිං මේ කතා මාලාව ලියන්න නිමිත්ත උණේ. සමාවෙන්න මෙච්චරවෙලා වටිනා කාලය කෑවට වල් පල් කියෝලා.

නවය වසර කියන්නෙ ඉතිං පාසල් කාලයෙ අමතකම නොවන කාලයක්. මොකද කියනව නං 8 වසර, 9 වසර කියන්නෙ මූණත්තහඩුවෙ කලු පාට ලා හීංදෑරි රැවුල් ගස් මතුවේගෙන එන, ගිලිලා තිබ්බ උගුරු ඇටේ ඉස්සරහට එන, කටහඬේ බේස් වැඩිවේගෙන එන, නැට්ටට කිරි එන කාලෙනෙ. ඔය කාලෙට ඉතිං කොල්ලන්ට මේ ලිංගිකත්වය එහෙමත් නැත්තන් සෙක්ස් කියන, අපේ සමාජයෙ එළිපිට තහනම් මාතෘකාව ගැන එන කුතුහලේ ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නැහැනෙ. අර සෞඛ්‍ය පොතේ තියෙන ප්‍රජනනය පාඩම එහෙම උගන්නනකං ඇඟිලි ගැන ගැන හිටියා තාම මතකයි.(ඒ කාලෙ අපි හෙන පව් නේහ්!)

 මේ සිද්ධි උණේ 2002 - 2005 අතර කාලෙ. ඒ කාලෙ ඉතිං අද වගෙ ඉන්ටර්නෙට් නෑ හැම තැනම. එහෙමත් ගෙදරක තමා ඉන්ටර් නෙට් තිබ්බෙ. ඒකත් අද වගෙ නැහැනෙ. ගූගල් සර් එන්ජින් එකම ලෝඩ් වෙන්න විනාඩි පහක් විතර යනවා. ඒ තරම් අධිවේගීයි. ඇරත් වීසීඩී ප්ලේයර් එකක් දකින්නෙත් කලාතුරකින්. ඩීවීඩී ප්ලේයර් තිබ්බද වත් මතකයක් නෑ. ඒ කාලෙ ඉතිං පත්තර තමයි සීන් එකේ තිබ්බෙ. පත්තර ලෑලි වල අස්සෙ හංගගෙන තමයි ඕව විකුණුවෙ ඒ කාලෙ. අද කාලෙ නම් මම හිතන්නෙ ඉන්ටර්නෙට් එක නිසා ඒ පත්තර කලාව අභාවයට ගිහිල්ල. මොනව කරන්නද ඉතිං, ලෝකෙත් එක්ක ඒ දේවලුත් ඉස්සරහට යන්නෙපැයි. මට මතකයි “මධුර”, “විවාහය” වගෙ එක එක නම් වලින් පත්තර තිබ්බ. ඒ කාලෙ ඉතින් පෝනොග්‍රැෆි තමයි ඕවා

 කවුරුහරි එකෙක් පත්තරයක් ගෙනාවාම මුළු පන්තිය වටේම යනවා ඉතිං. අතින් අතට ගිහිල්ලා අන්තිමට පිටු දියවීමෙන් තමයි මේ පත්තර මියයන්නෙ. පත්තරේ ගන්නවට වඩා ගේමක් දෙන්න වෙනව මේක බලන්න. මොකද ඉතිං ගෙදර ගිහින් බලන්න කියලයැ. පන්තියේ ෆ්‍රී පීරියඩ් එකක් ආවාම තමයි ටිකක් හරි චාන්ස් එකක් එන්නෙ. ඒත් අපේ කරුමෙටම අපෙ පන්තිය තිබ්බෙ නවය වසරෙ අනිත් පන්ති තිබ්බ තට්ටු තුනේ බිල්ඩිමේ නෙවෙයි. හත වසරෙ බිල්ඩිමේ එක කෙළවරක. ඕලෙවල් පැත්තෙ ඉඳන් 7,8,9 පන්තිවලට වගේම බාලාංසෙට යන පාර තිබ්බෙත් මේ අපේ පන්තිය අයිනෙන්. ඉතින් ෆ්‍රී පීරියඩ් එකක උණත් සිස්ස නායකයො එහෙමත් නැත්තං අපේ වචනෙන් කියනව නං පපට් ලා නිතර මේ පන්තියට පැන්න. ඔහොම කල් යල් බලලා ෆ්‍රී පීරියඩ් එකක් හම්බුනත් ඒකෙත් අපේ උන්ගෙ පොරේ පත්තරයක් බලන්න. එකාට එක ගානෙ පත්තරත් නෑනෙ ඉතිං.

අපේ පන්තියෙ පත්තර මල්ලි වගෙ හිටියෙ ඉතිං චූනා තමයි. චූනා හිටියෙ හොස්ටල් එකේ. කොහෙන් හරි එළියට පැනලා ගිහිල්ලා අලුත් පත්තර උස්සන් එන්නෙ මූ. හැබැයි ඉතිං නිකම් බෙදාහරින්නෙ නෑ. රෙන්ට් එකට තමයි දෙන්නෙ. දවසට විස්සෙ කුළියට තමයි ඉතිං චූනා පත්තර දුන්නෙ ඒ කාලෙ. චූනා ඇරුණාම පත්තරේ ගෙනාපු තව එවුන් හිටියත් ඒ කවුරුවත් චූනා තරම් ගෙනාවෙ නෑ. ඔන්න ඉතිං අපි සෙට් එකේ හතර දෙනෙක්, ඒ කියන්නෙ මම, අඹයා, මෝලා සහ ගලයා කියන හතර දෙනා රුපියල් පහ ගානෙ දාල පත්තරේ ගත්ත චූනාගෙන්. ඒකෙ නම නම් දැන් මතක නෑ. බාගදා මම අර උඩ ඡේදයක කියාපු නම් වලින් එකක් වෙන්නැති.


ගලය ගාව තිබ්බෙ බෙරයක් වගෙ, ADIDAS කියල සුදු පාට අකුරෙන් ගහපු නිල්පාට දිගටි බෑග් එකක්. ඕකෙ තමයි පත්තරේ හැංගුවෙ. ඔන්න ඉතිං එදාට පහුවදා ඉස්කෝලෙ තෑගි බෙදාදීමේ උත්සවේට ජනාදිපතිතුමා එනවැයි කියල ඉස්කෝලෙ චැක් කරන්න පැය දෙකක් කලින් වැහැව්වා. අපිටත් ඉතිං රජ මගුල්. අපේ පන්තියේ සහ නවය වසරෙ අනිත් පන්ති වල ඉඳගෙන පත්තරේ බලන්නත් බෑ. ආපු චාන්ස් එක අතෑරගන්නත් බෑ. මොකද කරන්නෙ ඉතිං කවදත් වගේ අඹයාගෙ මීටරේ වැඩ කරන්න ගත්ත. කොළපාට බලුප් එකක් නිවි නිවි පත්තු වෙනව වගේ දැක්ක අඹයගෙ ඔලුගෙඩිය උඩ.

“ඒයි, යමල්ලා අට වසරෙ බිල්ඩිමට. මේ වෙලාවට මෙලෝ මල යකෙක් එන්නෙ නෑ ඔය පැත්තෙ”


අඹය බ්‍රිලියන්ට් අයිඩියාවක් දැම්ම. අපි තුන්දෙනාත් ඒකමතිකව අඹයගෙ තීරණේට එකඟ වෙලා හතර දෙනාම සූරයෝ කියල අට වසරෙ බිල්ඩිම පැත්තට ගෑටුව. ගලය අර පත්තරේ හංගපු “බෙර” බෑග් එක කරඬුවක් පරෙස්සම් කරන්නා වගෙ දෝතින් අරන් ආ හැටි මතක් වෙනකොට තාමත් හිනා. “දැන් හතර දෙනාම එකපාර බලන්න බෑනෙ. දෙන්නෙක් මුර කරපල්ලා දෙන්නෙක් බලපල්ලා.” ඒ අයිඩියාව මෝලා ගෙන්. ඇයි ඉතිං කොච්චර ෂුවර් උණත් මොකෙක් හරි කුණාචාරයෙක් කඩා පාත් උණොත් එහෙම ඉවරයිනෙ. කොහොමද පත්තර එක්ක මිස් කෙනෙක්ට හරි සර් කෙනෙක්ට හරි පපට් කෙනෙක්ට හරි මාට්ටු උණානම්? පහුවදා ගෙදරින් ගෙන්නලා වහක් කන්න වෙනවනෙ. ඒ වගෙද ලැජ්ජාව.(පත්තර බැලුවට නෙවෙයි, මාට්ටු කරගන්නැතුව බලන්න බෑ කියල) ඔන්න ඉතින් දෙන්නෙක් අටේ බිල්ඩිම ළඟ දෙපැත්තෙ මුර කරනවා, තව දෙන්නෙක් පන්ති කාමරේක ඉඳන් පත්තරේ කෑලි දෙකකට බෙදාගෙන කියෝනව. ඔහොම ඉන්නකොට ඉතිං වෙලාව යනව දැණුනෙත් නෑ. ටිකක් වෙලා යද්දි මෙන්න යකෝ මාසෙ පොළිය එකතු කරන්න එන බඩතඩි පොලී මුදලාලි වගෙ චූනා කෑ ගහගෙන එනවා අටේ බිල්ඩිම ළඟට.

“අඩෝ වෙලාව ඉවරයි පත්තරේ දියන්”

ගලයා ඒ වෙනකොට අන්තිම හරිය කියෝ කියෝ හිටියෙ.

“චූන පොඩ්ඩක් හිටහන් බං මේ තව පිටු දෙකයි තියෙන්නෙ”

“අඩේ බං ඌරා ඉල්ලලා තියෙන්නෙ බං පත්තරේ. ඌ මට දවස් පහ හයක ඉඳන් කියන්නෙ මේක”
(ඌරා කියන්නෙත් අපේ පන්තියේම එකෙක්.)

 “ඌරෙක්ට වඩා මනුස්සයෙක් වටින්නෙ නැද්ද බං චූනා, පොඩ්ඩක් හිටිංකො”
  ගලයත් ගේම අතාරින්නෙම නෑ දැන්.

කොහොමින් කොහොම හරි චූනාට නොවඳිනා වැඳුම් වැඳලා වැඩිපුර පැය බාගයක් ඉල්ලගෙන ඔක්කොම කතා ටික සම්පූර්ණයෙන්ම කියවලා තමයි ගලයා පත්තරේ දුන්නෙ.(ඌ විතරක් නෙවෙයි මේ අපිත් සේරම කියෙව්ව හරිය!)
ඔන්න පහුවදා ගලයා අරං ආව පත්තරයක්. ඒක එච්චර ලොකු එකක් නෙවෙයි. මේක ටැබ්ලොයිඩ් සයිස් එකේ එකක්. ඒ මදිවට පිටු කීපයයි තිබුණේ. ඉතිං ගලයා වැඩි පරෙස්සමට කියල මුගෙ අර “බෙර” බෑග් එක අස්සෙ දෝනාවක් වගෙ එකක් හාරලා හංගනවා මම දැක්කා. කොහොමින් කොහොම හරි එදා සෞඛ්‍ය පීරියඩ් එකකුත් තිබ්බ. ගලයගෙ තමයි පන්තියෙන්ම වැඩියෙම්ම ලස්සන අකුරු තිබ්බෙ. මම දැකල නෑ කෙල්ලෙක් වත් ඒ වගෙ ලස්සනට ලියනව. අනිත් වැඩ සේරම පජාති උණාට හරි ලස්සනට බෝල කරලා හැඩ කරලා ගලයා ලියනකොට බලන් ඉන්න ආසයි. ඔන්න ඉතිං සෞඛ්‍ය මිස් ඇවිල්ලා පොත් ගන්න කිව්ව.
  
“ළමයි මට නෝට් පොතක් දෙන්න කාගෙහරි පැහැදිලි අකුරු තියෙන එක්කෙනෙක්ගෙ”

 කියල මිස් කිව්ව.
 
ඒ වගෙ අවස්ථාවක යාලුවෙක්ව පාවලා දෙන එක තරම් ආතල් එකක් තවත් නෑ ඉතිං.

“මිස් මෙන්න මෙයාගෙ තමයි ලස්සනම අත් අකුරු තියෙන්නෙ"
😈😈😈

පිටිපස්සෙ පේළියෙ ඉඳන් ගැටයා බෙරිහන් දුන්නා.(ගැටයා තමයි අපේ සෙට් එකේ වලි මාමා) පිටිපස්ස හැරිච්චි ගලයා, ගැටයා දිහා බලාගෙන අභිනයෙන් හෙළුවෙන් වනනවා පේනවා දැන්. ෂුවර් එකටම ඒ වෙලාවෙ නම් අපෙ ගැටයගෙ ආදරණීය මෑණියෝ කිඹුහුම් හොණ්ඩර දෙකක් වත් යවන්න ඇති අනිවාර්‍යෙන්.
  
මුගෙ ළඟට ආපු සෞඛ්‍ය මිස් පොත අරන් දැන් නෝට් එක කියෝන ගමන් පන්තියෙ ඉස්සරහට ගියා. මිස් පොත කියෝනවා, ගලයා හතර අතර හැරි හැරි සතර වරම් දෙයියො වඳිනවා. උගෙ අල්ලපු පුටුවෙ හිටි ගුල්ලාත් කටේ කෙළ හිඳිලා ඇස් දෙක ටීක් වෙලා අන්දකයිප්පු කෑව වගෙ බලාගෙන ඉන්නව. මුන් දෙන්න දිහා අපේ පේළි වල හිටි අනිත් එවුන් තක්බීර් වෙලා බලන් ඉන්නව. ඇයි අපිට දැන් හෙන ප්‍රශ්නයක් මුන් දෙන්න මේ එකපාරටම මොකද කියලා. ගලයාගෙ මූණ රතු වෙලා, තුම් මුනින් දාඩිය දාගෙන දැන් මූ දේව වන්දනාව කරනවා. බැරිම තැන ඩෙස් එකටත් වඳිනවා.

 කොහොම හරි නෝට් එක කියෝලා මිස් පොත නැවත ගලයගෙ අතට දෙනකොට ගලය “අම්මෝ” කියල සුසුමක් හෙළනව මට ලාවට ඇහුණ. පීරියඩ් එක ඉවරවෙලා මිස් ගියාට පස්සෙ එතන්ට අපි සෙට් එක වට උණා මොකද මේ කියල බලාගන්න ගැටයා අහනවා “මොකද යකෝ තෝ බිරන්තට්ටු වෙලා” කියලා.
  
ගලය හොඳ හුස්මක් එහෙම අරන්, තත්පරේට වචන සීයක විතර වේගෙන් කර්ණ රසායන සුමිහිරි වදන් ටිකක් යොදාගෙන තත්පර හතළිස් පහක් වැනි කාලයක් තුළ ආයෙම ගැටයාට පින් දෙන්න ගත්තා. බැනල බැනල ඉවරවෙලා මූ කියනවා.
  
ගැටයා තෝත් මහ #රි වැඩ තමා කරන්නෙ, සෞඛ්‍ය පොතේ පිටකවරෙ අස්සෙ තමා බල්ලො අර පත්තරේ හංගලා තිබ්බෙ. තව ඩිංගෙන් මාට්ටු වෙනවනෙ!!!”
😠😠😠😡😡😡😣

කොහොමහරි ඒ වෙලාවෙ ඒක කියද්දි ගලයගෙ මූණෙ ඇඳිච්ච ඒ ඉරියව්ව සහ වචන ටිකේ සංකලනය අපිව විනාඩි පහක් විතරම බිම දිගේ රෝල් වෙවී හිනාවෙන්න තරම් සක්තියක් දුන්න.

2 comments:

  1. බුදු අම්මෝ ඔය පත්තර නිසා කාපු පරිප්පු. ලිංගික අධ්‍යාපනය සුපිරියටම දුන්නේ ඔව් තමයි. මුල් කාලේ ආපු නවරස වාගේ පත්තර වල කතා නියමෙට තිබුනා. ඔය සිදේවි ආවේ පස්සේ 90 ගනන් වල. තව පත්තර ආවා හැබැයි එකම එකා ලියන කිසිම ගතියක් නැති ජරාවල්.

    ReplyDelete
  2. මේක කියවනකොට මං කාලෙකට කලින් ලියපු 'අමුතු පත්තරේ' කතාව මතක් උනා. ඒ දවස්වල අපි ඕවයෙ නම් මතක් කරගන්න සෑහෙන්න දැඟලුවා. මෙතන තියෙන සමහර නම් කියවුනේ නෑ වගේ මතක.

    පත්තරේ හංගපු බෑග් බෙරේ අරන් ගිය හැටි කියවලා හොඳටම හිනා. ඇති යන්තම් අරුන් දෙන්නගෙ වෙනස මිස්ට මාට්ටු නොවුනු එක. අහු උනා නම් හෙම, ගැටයා සෙත්ත පොච්චි.

    ReplyDelete