Friday, June 21, 2019

හුලං විස්කෝතු



මතක පොතේ පිටු දිගාරිද්දි ඉස්කෝලෙදි වගේම පිටදිත් වෙච්චි රසමුසු සිද්ධි හම්බ වෙනව. මේ කියන්න යන්නෙත් ඒ වගෙ එකක්. මේක මම O/L කරලා ගෙදර ඉන්න කාලෙ උන වැඩක්. අද කාලෙ වගෙ මහ පරිමාණෙට නැති උණාට ඒ කාලෙත් අමතර පන්ති යහමින් තිබ්බා. අට වසරෙ ඉඳන් ඕ ලෙවල් වෙනකම් ගණිතය ඉගෙනගන්න පන්තියකට යැව්වා මාව ඒ කාලෙ අපේ ගෙදරින්. අපිට උගන්නපු සර්ගෙ නම “සිරිපාල”. මගෙ ජීවිතේ හම්බ වෙච්චි හොඳම ගණන් ගුරුවරු දෙන්නගෙන් කෙනෙක්.😇😇 පන්තිය ටිකක් කම්මැලි උණාට ඒ සර් උගන්නන ඒව නියමෙටම තේරෙනවා. තිත්ත වෙලා තිබ්බ ගණිත විෂය ප්‍රසන්න ප්‍රණීත විෂයක් බවට පත් කරේ අපේ සිරිපාල සර්. සර් අසනීප වෙලා ගෙදර ඉන්නවා කියල අපෙ අම්ම කිව්වා, ඉතින් පරණ ගෝලයෙක් හැටියට සර් බලන්න යන එක යුතුකම නෙ.( මීට අවුරුදු ගාණකට කලියෙන් අපේ සිරිපාල සර් අපි හැමෝමව දාල නොඑනා ගමන් යන්න ගියත් සර් ගැන මතකය කවදාවත් මියැදෙන්නෙ නෑ අපෙ හිත් වලින්😔😔.)

ඉතින් මමයි මගේ හොඳම යාලුවයි යන්න කතා කරගත්තා සර් ව බලන්න යන්න. මගෙ හොඳම යාලුවගෙ ගෙවල් තිබ්බෙ අපෙ ගණන් සර්ගෙ ගෙවල් වල ඉඳලා කිලෝමීටර් හයක් විතර දුරින්. ඉතින් ඔන්න ගමන යන්න ලක ලැහැස්ති වෙලා මම ගියා යාලුවගෙ ගෙදර. මම උදේ ඉඳන් ලෑස්ති උණාට මූ තාම නිදි 😡😡😡😠. ඔහොම හිටුකෝ දෙන්නං තොට කියලා දෝතින් වතුර ටිකක් ගෙනිහිල්ලා ඇඳේ ඉද්දිම සිසිල් පැනින් උගෙ මුව දෝවනය කරලා යන්තම් ඇහැරව ගත්තා 😆😆😆😈. කටේ සද්දෙට පින් සිද්ද වෙන්න පැයක් වගෙ ඉතා කෙටි කාලෙකදි ඌව ලෑස්ති කරගන්න ඇහැක් උණා මට යන්තං😓. දැන් අපිට තියෙන ප්‍රශ්නෙ තමා මොනවද සර්ව බලන්න ගෙනියන්නෙ කියලා,මම යාලුවට කිව්වා කෝකටත් අම්මගෙන් අහලා බලමු කියල,🤓 එවෙලෙ අම්ම කුස්සියෙ උය උයා හිටියෙ. අපි දෙන්නම කුස්සියට ගිහින් අම්මගෙන් ඇහුව මොනවද එහෙ ගෙනියන්න ඕන කියල. ඉතිං අම්ම කිව්වා කෙහෙල් ඇවරියකුයි නෙස්ටමෝල්ට් එකකුයි ගෙනියන්න කියල.
පරක්කුත් වෙලා තිබ්බ නිසා අරූවත් ඇදගෙන මම ගෙදරින් එළියට බැස්ස උන්ගෙ අම්මට යන්නම් කියලා. එළියට බැහැල අඩි තුන හතරක් යනකොට යාලුවගෙ අම්ම මොනවදෝ කියනව මට ඇහුණා. මූත් ඩබල් එකේම “හා හා හරි හරි” කියාගෙනම ආව. ටවුමෙ කෙළවරක තිබ්බ අතුරු මිතුරු පළතුරු ලෑල්ලෙන් කාබයිට් නොගහපු කෙහෙල් තෝරන එක ගැන හිත හිතා හිටි මට මොකද්ද කිව්වෙ කියල ඇහුනෙ නෑ 🧐🧐🧐🤔. යාලුවගෙන් ඇහුවාම අම්ම මොකෝ කිව්වෙ කියල ඌ කිව්වා,මචන් අම්මා මොකද්ද හුලන් විස්කොතු කතාවක් කිව්වා කියල.
මමත් කිව්ව එහෙනං අවුලක් නෑ එයින් එහෙකුත් අරන් යං කෝකටත් කියල,

අපි දෙන්නා ඉතින් කෙසෙලුයි,නෙස්ටමෝල්ටුයි තව හුලං විස්කොතු එකකුයි අරගෙන යන්න පිටත් උනා,කොහොමෙන් කොහොම හරි ඉතින් සර් ට මාර සතුටුයි අපි ආපු එකට 😊😊😊,හැබැයි සර් ගෙ නෝනා අපි ගෙනියපු හුලන් විස්කෝතු එක දිහායි අපි දෙන්නගෙ කුප්ප මූණු දිහායි දෙතුන් පාරක් මාරුවෙන් මාරුවට බලනව මම දැක්ක. මට ඒක එවෙලෙ එච්චර ලොකුවට ගාණක් ගියෙත් නෑ ඉතිං.🤓🤓🤓

දැන් ඉතින් සර් ගෙ දුක සැප විමසලා, බලලා අපි ගියා යාලුවගෙ ගෙදර,යනකොට අම්මා බලන් ඉන්නවා,අපි ආපු හැටියෙම අම්ම අහනවා, "කෝ චූටි, හුලන් විස්කෝතු ගෙනාවද කියල" 😕😟😟😮😲😵
හත්වළාමයි!!!
එතකොටයි මටත් සිද්දිය මීටර් උනේ.
අම්ම කියල තියෙන්නෙ ගෙදර එනකොට හුළං විස්කෝතු එකක් අරන් එන්න කියල.😂😂😂
තාමත් හුලන් විස්කොතු දකිනකොට ඒ සිද්දිය මතක් වෙනවා......................
විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ එතකොට.🤭🤭🤭
හුළං විස්කෝතු අරන් ලෙඩ්ඩු බලන්න යන්නෙ මොන හිපාටුවොද කියල අර සර්ගෙ නෝන ෂුවර් එකටම හිතන්න ඇති ඒ වෙලාවෙ.🤣🤣🤣😂😂😂🤣🤣🤣😂😂

4 comments:

  1. අද තමයි මේ බ්ලොගය දැක්කේ. පසු ගිය පෝස්ට් ඔක්කොමත් කියෙව්වා. ඉතාම රසවත්ව ලියලා තියන බවත් කිව යුතුයි. ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඉදිරියටත් දාන ලිපි කියවයි කියල හිතනව.

      Delete
  2. මේ ලියන රටාව මරු

    ReplyDelete