Thursday, June 20, 2019

මෝහිනීගෙ ගල් කාල

(මගේ කුළුඳුල් කෙටි කතාව.)






පැනි බඹර සීයක් හමාරක් දාල වගෙ තෝන්තුවාවෙන් බැරි බැරි ගාතෙම බයික් එකට ගොඩ වෙච්චි මට
, සාක්කු දෙකට බැහැලා යතුර හොයාගන්න තව විනාඩි දහයක් විතර යන්නැති. අලුත් බයික් එක නිසා සෙල්ෆ් ස්ටාට් නියමෙට වැඩ. ගහපු ගමන් ස්ටාට් වෙච්චි බයික් එක මම හෙමීට මහ පාරට දැම්ම. ඇරල දාල යන්න ඕනෙ ඉක්මනට. ගෙදර ගියාම අම්මගෙ සුපුරුදු බැනුම් ටිකත් අහගෙන හෙට වැඩට එන්න ලෑස්ති වෙන්නත් එපැයි උදෙම්ම.හැත්තෑවට විතර මං ඇරල දාල එන්නව දැං. පාරත් සුනාමියට අහු උණා වගෙ පට්ටම පට්ට පාලුයි. බල්ලෙක් වත් නෑ. අඩුමතරමෙ බල්ලෙක්!

වෙලාව පාන්දර එකයි තිස් තුනට විතර ඇති. කිලෝ එකේ විතර කෑලි කපලා අතට ගන්න තරම් කළුවරයි. පාරත් පට්ටම පට්ට පාලුයි. මක් කරන්නද ඉතිං කොහොමහරි ගෙදර යන්නත් එපැයි. හවස හිතන් හිටියෙ පාටිය ඉවර උණත් නැතත් රෑ දහය වෙද්දි එතනින් දිරාමාර් වෙනව කියල. කොහෙද ඉතිං ආත්ම ගාණක් තිස්සෙ පෙරුම්පුරාගෙන ආපු පාප මිත්‍රයො ටිකත් එක්ක ඒව සුම්ම. ඩිලානයාට ඒරියා මැනේජර් පට්ටමක් පංගාර්තු වෙච්ච එකේ ප්‍රීතිය අපි සැමරුවෙ ටවුමෙන් කිලෝමීටර් දහයක් විතර එහා තිබිච්චි, මකුළු දැල් වලින් ලස්සනට සරසපු, උගෙ පාලු මහ ගෙදර.

බල්ලෙක් වත් නැති වෙලාවක කලුවරේ පාලු පාරක යන එකෙත් පොඩි ගතියක් තියෙනව. ඒ අසිරිය විඳින්න හිතනකොටම ටික ටික ඇක්සලේටරේ බුරුල් වෙනව මට දැනුණා. ආතල් සීමාව තිහේ තියාගෙන දැන් මම අවට අසිරිය විඳින ගමං යනවා. අසිරිය කිව්වට පාර දෙපැත්තෙ මෙලෝ දෙයක් පේන්නෙ නෑ. ඒ පේන්නෙ නැති කට්ට කරුවලේ මොනවහරි පෙනෙයි කියල හිතාගෙන යන එක වෙනමම ආතල් එකක්. තව කිලෝමීටර් තුනක් හතරක් යනකං පාර දෙපැත්තෙ වෙල් යාය මේ හරියෙ ලයිට් කණු තිබ්බත් අපරාදෙ කියන්න බෑ එකක වත් ලයිට් නෑ. මූණ ලාවට පිහදාගෙන යන හුළං පාරත් එක්ක ලේ වල තිබ්බ ඇල්කොහොල් තවත් ප්‍රමුදිත වෙනව මට දැනුනා.
මේ වැඩේ කරන්න බෑ. පාරත් වැනෙනවා, බයික් එකත් වැනෙනවා ඊට අමතරව මාවත් වෙනමම වැනෙනව මට දැනෙනව. යකෝ මං බීලද බයිසිකලේ බීලද එහෙමත් නැත්තං මේ මහපාර බීලද කියල මට දැං හිතාගන්න බෑ. පාරෙ සීමාව ලකුණු කරන්න මීටර් සීයෙන් සීය වගෙ හිටෝපු මිටි කොන්ක්‍රීට් කණු මගෙ දිහා බලාගෙන හිනාවෙනව වගෙ මට පෙනුනා. බිම ඉඳන් අඟල් හයක් අටක් විතර තියෙන කලු පටි නිසා ඒව පෙනුනෙ හරියට කලු කොට කලිසම් ඇඳගත්තු සුදු වාමනයො වගෙ. ඒව මට හිනා වෙනවද මා එක්ක හිනාවෙනවද කියලවත් හිතාගන්න බැරි උණාට පහුවෙන හැම මිටි කණුවක් එක්කම ආපහු හැරිලත් හිනා වෙන්න මම අමතක කරේ නෑ.


කොච්චර සූර් උණත් ඒ හොඳ සිරිත් අමතක කරන්න හොඳ නෑ. ඔහොම යනකොට එකපාරටම බයික් එක තදින් වෙවුලනව මට දැනුන. මෙච්චර වෙලා යසට මෝල කුලප්පු වෙච්චි එන්ජිම එකපාරටම ඩහ්! නතර වෙලා ගියා.
සෙල්ෆ් ස්ටාට් බට්න් එක එබුවට මෝටරේ වදින්නෙත් නෑ. දහ පහලොස් පාරක් ඒක උඩ නැගගෙන එබුවයින් පස්සෙ ඒක මට එපා උණා. ඒ පාර මම සත්තිය දාල කික් කරන්න පටන් ගත්ත ඒකෙන් වත් ස්ටාට් වෙයි කියල හිතාන.


ම්හු! මොන! එන්ජිම නෙවෙයි ඇහැරුණේ. වෙර වීරිය අරන් මම දැන් කික් කරනවා දිගට හරහට සහ පළලට. ෂර්ට් එක ඇඟට ඇලෙන තරම් දාඩියයි. නළල දිගේ ගලාගෙන ආපු දාඩිය බින්දුවක් ඇස් කකියවාගෙන ඇස් කෙවෙනි වලට කාන්දු වෙනවා දැනුනා.


“මේ ලබ්බ ස්ටාට් වෙන්නෙ නෑ වගෙ මේ කපේ” නෝක්කාඩු ස්වරයෙන් මටම කොඳුරගත්තු මම කරන්න දෙයක් නැති තැන බයික් එකෙන් බැස්ස. දැන් ඉතිං මොකද කරන්නෙ. මට දැං ඇඬිල ඉන්නෙ, මේ අටමගලෙත් තල්ලු කරන් යන්නෙපැයි මනුස්ස වාසයක් තියෙන තැනකට මුලින්ම මොනව කරන්නත් කලින්. සරීරයේ සියලු සක්තිය කකුල් දෙකට දීපු මම ඕඩි හෙලෙයි, හේල හෙලෙයි කියල දැන් බයික් එකත් තල්ලු කරන් ඔහොම වැනි වැනී යනව.


ඒ අස්සෙ ගුඩුස් එකක් ආවෙ මෙන්ඩිස් රස ආයෙම මතක් කරගෙන. ඔහොම්මම මීටර් පන්සීයක් විතර යන්නැති. පාර අයිනෙ තඩි බෝඩ් එකකුත් තියෙනවා “බීමත්ව රිය පදවන්න එපා” කියල. හරි ඉතිං කණ පැලෙන්න බීල හිටියට මම යන්නෙ තල්ලු කරගෙන නෙ. බීමත්ව මෝටර් බයික් තල්ලු කරං යන්නෙපා කියල කොහෙවත් ගහල නැහැනෙ. දැන්නම් සාක්කු දෙකේ තිබ්බ කන් දෙක පාත් වෙල බිම ගෑවෙන තරමට මං හැක් වෙලා. ඒ අස්සෙ මට දැන් පේනව මේ පට්ට කලුවර පාරෙ මට මීටර් සීයක් හමාරකින් එකම එක ලයිට් කණුවක ලයිට් එකක් පත්තු වෙනව. හැබැයි ඒකත් ගැහි ගැහි. ඒ ගැහෙන එළියෙන් මට පේනව පොඩි බෝක්කුවක්. එතන කවුරුහරි ඉන්නවා වගේත්. තවත් හොඳට ඇස් දෙක පිහදාපු මං දැක්ක එතන පොඩි ළමයෙක් වඩාගෙන සුදු ඇඳගත්තු ගෑනියෙක්.
ආයෙම පාරක් ඇස් දෙක පිහදැම්ම. ඒත් මුන් දෙන්න ඉන්නව.


අම්මටසිරි!
මෝහිනී වත්ද?


ආයෙ දෙකක් නෑ ඒකි තමා.මේ වෙලාවට මෝහිනී නැතුව නිසංසලා ඉන්නද යකෝ පාරෙ.
ජරමර අස්සෙ බර කරත්ත කිව්වලු. කාල වරෙංකො දැන්.


මම බෝක්කුව ළඟට කිට්ටු කරනකං මෝහිණී හිනාවේගෙන බලා ඉන්නවා.

“රෙදි අන්දන්න නං කියන්නෙපා හරිය! හැතැම්ම ගානක් මේ රෙද්ද තල්ලු කරං ඇවිල්ල මට දැං හික් ගෑවිල ඉන්නෙ” මම තරහෙන් මෝහිනීට කිව්ව.

“කව්ද ඕයි තමුසෙට රෙද්දක් හදන්න කිව්වෙ?” මෝහිනී උත්තර දුන්නෙ කින්ඩියට වගෙ.

හැබෑටම යකෝ මෝහිනී කියන්නෙ රෙද්ද හදන්න කියල නෙවෙයිනෙ.
ආ හරි!


“ළමයි බමයි වඩාගන්න නං ලොවෙත් බෑ දැං” බයික් එකේ සයිඩ් ස්ටෑන්ඩ් එක ගහපු මම බෝක්කුව ළඟට ගිහින් සාක්කුවෙන් දාඩිය පුස්ඹ හමන ලේන්සු කෑල්ල එලියට අරං බෝක්කු ගැට්ට උඩ එළලා ඉඳගත්ත.
“දැන් මම එහෙම කිව්වෙත් නෑනෙ නේද?” මේකි ආයෙම හිනා වෙනව.
යකෝ! මේකි බලකො.

“ආ නැද්ද, එහෙනම් අවුලක් නෑ” මම නහය හාරන්න ගත්ත.
“ලැජ්ජ නැද්ද යකෝ ගෑනියෙක් ඉස්සරහ නහය හාරන්න”
මේකි නං අම්මපා යක්ස අම්මණ්ඩි කෙනෙක් අම්මප.
“අනේ බං මෝහිනී, යක්කුන්ට මොන සිරිත්ද ඕයි. අනික ඔතන ගෑනියෙක් විතරක් යැ. ළමයෙකුත් ඉන්නවනෙ”
එහෙම කියනවත් එක්කම මෝහිනීගෙ අතේ හිටි පොඩි එකා මා දිහා හැරිල උගෙ ටීක් බෝල වගෙ ඇස් කරකෝලා හිනාවක් දැම්ම. අම්මෝ උගෙ දත් සැට් එක. පීරිගාලා වගෙ උලට තිබ්බ පුංචි දත් ටික හිරමනේකට නං මරු.
“තමුසෙල ගාව නැති උණාට යමලෝකෙ ඉන්න අපිට සිරිත් විරිත් තියෙනව ඕයි”

තවත් නං ඇවිදින්න බෑ වාහනයක් එනකං කීය වෙනකල් හරි මෙතන ඉන්නව කියල හිතාගෙන මම තවත් හරිබරි ගැහිල වාඩි උණා.
“උඹ මොකෝ මෙතන කරන්නෙ” මං මෝහිනීගෙන් ඇහුව.
“වෙනද කරන දේම තමා ඉතිං” කකුලෙ මහපටැඟිල්ලෙන් පොලව හාරන ගමං මෝහිනී කිව්ව.

“වෙනද මොකද කරන්නෙ?”

“ ඇයි යකෝ පිරිමියෙක් එනකං ඉඳල මේ බබා වඩාගන්න කියනවනෙ”
“ඉතිං දැං උඹ මට කිව්වෙ නැහැනෙ” මට දැං හෙන ප්‍රශ්නයක්.

“මං දැක්ක තමුසෙ ඈත තියා ඔය යකඩ ගොඩ තල්ලු කරං එනව. තමුසෙ ආපු දුක්ඛිත විදිය දැක්කාම මෝහිනීට උණත් හිතෙන්නෙ නෑ එහෙම දෙයක් කියන්න.”

“හරි දැං වෙන එකෙක් ආව කියහංකො, ළමය වඩාගන්න දීල ඊටපස්සෙ මොකද කරන්නෙ? තමුසෙ රෙද්ද හදාගන්නවද?”
“නෑ යකෝ උගෙ බොටුවට පැනලා ලේ බොනවා” ගෙරවිල්ලක් එක්ක මෝහිනී කියාපි.

“මේ වෙනකොට කී දෙනෙක් නම් එහෙම මරලා ලේ බීල තියෙනවද?” මං ඇහුව.

“එකෙක් වත් නෑ” වෙල් යායම කම්පා වෙන තරමෙ සුසුමක් හෙළපු මෝහිනී දුකෙන් බිම බලාගෙන බෝක්කුවෙ කෙළවරකින් වාඩි උනා.
“ඒ මොකද ඒ?” යකින්නක් දුක් වෙනව දැක්ක පළවෙනි පාර.
“ එකෙක්ට වත් මාව පේන්නෑනෙ යකෝ!” මේකි නෝක්කාඩුවක් කියන්න ගත්ත.
“මම දැං කොච්චර කාලයක් තිස්සෙ මෙතන ඉඳගෙන අත වනනවද, එකෙක්ට මාව පේන්නෙ නෑනෙ”
“එහෙම වෙන්න විදියක් නෑනෙ, මේ මං දැක්කෙ.”


“මිනිස්සු මෙතනින් යන්නෙ ගෙදර ප්‍රශ්නයි, රස්සාව කරන තැන ප්‍රශ්නයි ඔලුවෙ පුරෝගෙන. ඒ මදිවට ටීවි එකේ යන මෙගා නාට්ටි වල තියෙන ප්‍රශ්නත් අම්බානෙක. ඉතිං යකෙක්ට බය වෙන්න වත් උන්ට සිහියක් නෑ”


මෝහිනී කොක් හඬලන්න ගත්ත. ටික ටික ඒ හිනාව විලාපෙකට හැරුනා.
මල මගුලක් නෙ යකෝ මේක, මට හෙට වැඩට යන්නත් තියෙනව. ඒ මදිවට මේ යකින්න මෙතන වැලපෙනව. තියෙන ප්‍රශ්න මදිවට. කවුරුහරි එකෙක් මෙතනින් ගියොත් හිතන්නෙ ලොවෙත් මම මෝහිනීට මොකක් හරි අකටයුත්තක් කරල කියල. බෝක්කු ගැට්ටෙ ඉන්න ගමං ජැකට් එකේ සාක්කු දෙකට අත් දෙක රිංගවාගෙන මම කල්පනා කරන්න ගත්ත. ඒ අස්සෙ වම් පැත්තෙ සාක්කුවෙ ටිකක් බර දෙයක් තියෙනව මට දැනුන.
අම්මටසිරි! කාලෙ බෝතලයක් නේද මේ?
ජැකට් එක අස්සට කොහෙන්ද යකෝ කාලෙ බෝතලයක් ආවෙ. මම දැං දහ අතේ කල්පනා කරනව. මෝහිනී තාම වැලපෙනව. එකපාරට මට මරු අයිඩියාවක් ආව. මේ මැජික් අරිෂ්ටෙට පුලුවන් ප්‍රාතිහාර්‍යය පාන්න.
“හරි හරි උඹ වැලපෙන්නැතුව හිටපං” කියපු මම අර කාලෙ බෝතලේ එලියට අරං මූඩිය ඇරියා.


අම්මේ පුසුඹ!

“දුක තුනී වෙන්නත් එක්ක අඩියක් ගහමු.” මං මෝහිනීට කතා කරා.
මෙන්න යකෝ නෑ බෑ නොකිය මේකි ඇවිත් මා ළඟින් ඉඳගත්ත. යක්කු පෙරේතයො ළඟ මිනී කුණු ගඳයි කියල අහල තිබ්බට මෝහිනී ගාවින් ආවෙ රට සෙන්ට් සුවඳක්. අපේ මැති ඇමතිවරු ළඟ එන්නෙත් රට සෙන්ට් සුවඳමයි. ඒත් උන් අතගාන්නෙ ජරාව, කරන්නෙ මළ යකෙක් වත් නොකරන අමනුස්ස වැඩ. ඇත්තටම මිනී කුණු ගඳ එන්න ඕන, පණපිටිං ඉන්න එවුන් ළඟ රට සෙන්ට් සුවඳ හමද්දි හොල්මනක් ගාව රට සෙන්ට් සුවඳක් එන්න බැරිද? මම මගෙන්ම අහගත්ත.
පුලුවන් නේ. ඇයි ඉතිං ඔය එන්නෙ. මමම ඒකට උත්තරෙත් සපයගත්තා.
“හැබැයි ඉතිං අමුවෙන් තමයි” අමු අරක්කු ටිකක් උගුරට හලාගත්තු මම බෝතලේ මෝහිනීට දික් කරා.


අන්නස්‍රෝතය රත් කරගෙන, ගළනාලය පුච්චගෙන රස්නෙට ගිනි වතුර ටික බඩට යනකම්ම දැනුණා.
“ඒකට කමක් නෑ. මං මීට කලින් බීල තියෙනව බොල” කියල කාලෙ බෝතලේ අතට ගත්තු මෝහිනී එක උගුරට ස්‍රාස් ගාල බෝතලේම ගහල දැම්ම.

“මොකද්ද යකෝ ඒ කරේ? එක උගුරයි බොන්න හම්බුනෙත්. තෝ නං යස්සනියක්ම තමා” මම කෑ ගැහුව නෙවෙයි මට කෑ ගැස්සුනා. ඇයි සීවරං දෙයි හාමුදුරුවනේ මේ වගෙ පොලොව නූහුලන අපරාදයක් ඇස් පනාපිට කොහොම ඉවසන්නද. අපරාදෙ! මට ආයෙම ගුඩුස් එකක් ගියා.
මෝහිනීගෙ අතින් බෝතලේ උදුරගත්තු මම ඒකෙ අඩියෙම ඉතුරු වෙලා තිබ්බ අරක්කු බින්දු ටික කටට හලාගත්තෙ හෙන පෙරේතකමකින්. ඇත්තටම මොන රහකට බොනවදත් මන්ද ඕයි මේව අපි.
අන්තිම අරක්කු අණුවත් මගෙ කටට වැටෙනකං බෝතලේ අල්ලං හිටි මම බෝතලේ පාත් කරද්දි දැක්ක හෝස් පවර් තුන් කාලක විතර මෝටරයක් හයි කරල වගෙ මෝහිනීගෙ ඔලුව බෙල්ල වටේ කැරකෙනව.

“මොනවද පරයො මේ බ්‍රෑන්ඩ් එක? අම්ම මුත්ත කාලෙක වත් බීල නෑ මෙහෙම දහ ජරාවක්” මෝහිනී විකාරෙන් වගෙ ඇහුව. මේකි දැං බයිට් එකට මාව ගන්න සයිස්. සාමාන්‍ය සයිස් එකට හිටි මෝහිනී එකපාරටම විසාල වෙලා මාව එක අතකින් අරන් “කටස්” ගාල කටින් කඩලා බාගයක් හපලා ගිලිනවා මට මැවිලා පෙණුනා. හික් ගෑවිච්චි මම ඊළඟ තප්පරේදි පියවි සිහියට ආව.

එතකොට තමයි මටත් මතක් උණේ බ්‍රෑන්ඩ් එක නොදැන නේද ගැහුවෙ කියල. හෙමීට බෝතලේ ඇස් දෙකට කිට්ටු කරල නම මොකද්ද කියල බැලුව. ලයිට් කණුවෙ යාන්තමට එල්ලිලා තියෙන බල්බ් එකේ ගැහෙන එළියෙන් මම අමාරුවෙන් අකුරු එක එක අමුණලා ඉංග්‍රිසියෙන් තිබ්බ, බීපු අරක්කු වල නම කියෝගත්තා.

Ultra Tough Clear Satincoat Varnish”

අම්ම ගහයි බේස්බෝල් බැට් එකෙන් කිව්වලු. යකෝ මම බීල තියෙන්නෙ වාර්නිෂ් නෙ. මමනං බිව්වෙ උගුරයි බින්දු දෙක තුනයි. ඒත් මේ යස්සනී??? දහ්! ගාන සද්දයක් ඇහෙද්දි ඉබේම මට මෝහිනී දිහා බැලුනා. මළා!
පෙරේතය පොලොවෙ ගැහුව වගේ මෝහිනී බිම දපලා. පොඩි එකා බිම ඉඳගෙන බෝතලේ මූඩිය කටේ දාල කියත් දැති වගෙ උල් දත් වලින් හපන ගමන් මා දිහා බලලා කිණ්ඩි හිනාවක් දැම්ම.
යකෝ මේ හොල්මන මැරිලද? මාවත් තව ටිකෙන් මැරෙයිද? නොමළොත් මෝහිනීව මැරුව කියල මාව පොලිසියෙන් ඇරෙස්ට් කරන් යයිද? ඔෆිස් එකේ උන් ටික මාව බලන්න පොලිසියට එයිද? කූඩුව ඇතුලෙ ඉන්නකොට මගෙ පාප මිත්‍රයො ටික ඇවිල්ලා
“අඩෝ උඹ මෝහිනීවත් මැරුව එහෙනං ඈ” කියල කෝචොක් පාර දානකොට ලොකප් එකේ තියෙන යකඩ කූරක් ගලවලා උන්ට ගහන්න මට හිතෙන එකක් නැද්ද? මේ වගෙ දහසකුත් එකක් ප්‍රායෝගික ගැටළු මගෙ ඔලුවට වද දෙන්න ගත්ත. මොනව උණත් එකට අඩිය ගැහුවනෙ කියල මෝහිනීව නැගිට්ටන්න හදනකොටම මාව පතුලක් නැති අගාදෙකට ඇදගෙන වැටෙනවා දැනුණා. පැය ගාණක් තිස්සෙ මාව ඒ විදියට වැටෙන්නැති.
“ඕයි, නැගිටිනවා! රෑ තිස්සෙ බීගෙන මෙතන අපෙත් දවසම මුස්පේන්තුයි මේ යක්කු නිසා”
කව්දෝ මන්ද එකෙක් මොර දෙනවා ඇහුණා. මාර වැඩේ, මාව වැටෙන එක නතර වෙලා. අගාදෙ පතුලෙ ඉන්න එකෙක් තමා මේ කෑගහනව ඇත්තෙ කියල මම හිමීට ඇස් දෙක ඇරියා. ගොයම් කපාපු වෙලක වේලිච්චි ලියද්දක් කෙලවර ගොඩ ගහල තිබ්බ පිදුරු ගොඩක ඉඳන් මම නැගිට්ටා. ඊට මීටර් හය හතක් ඈතින් මගේ දඬු මොනර රාජයා සැතපිලා ඉන්නවා මම දැක්ක. අත පය බ්ලේඩ් තල වලින් හූරලා වගෙ දැවිල්ලයි. අත් දෙකම හීරිලා ලේ පාට එන්නම.

“මොන මල ජරාව බීල එනවද මන් දන්නෙ නෑ තුහ් යකෝ ගඳ විතරක්” ඔන්න ආයෙම අර කටහඬ.
නූල් ඇදිච්චි තුවා කෑල්ලකින් ජටාවක් ගහගත්තු, සරම කැහැපොට ගහත්තු වයස අවුරුදු හැටක විතර තලස්තෑනි පොරක් මගෙ ඉස්සරහ”
අනිත් වෙලාවට බ්‍රේක් නැති මගෙ කට මෙවෙලෙ නං ඇරුනෙ නෑ ලැජ්ජාව වැඩිකමටම.

“මම මේ කොහෙද ඉන්නෙ? කෝ මෝහිනී? ඕගොල්ලො එයාව ඉස්පිරිතාලෙකට වත් ගෙනිච්චද?” මම පොරගෙන් ඇහුව.

“තාම වෙරිද කොහෙද මේ ලොන්ත කොකටුවට. මොන මෝහිනියෙක්ද බොල? තෝ මේ බීල ඇවිල්ල පාර අයිනෙ දෙරි ගැහිල හිටියෙ” ලොක්කා ආයෙම දෝස්මුරයක් දැම්ම.

එතකොට මම දැකල තියෙන්නෙ හීනයක්ද?
හම්මේ ඇති යන්තම්. එතකොටයි ඇඟට ලේ ටිකක් ඉනුවෙ. තව ඩිංගෙන් පොලිසි උසාවි ගානෙ රස්තියාදු වෙන්න වෙනව හොල්මනක් මැරුව කියල.
“පව් නොදී ගෙදර යනව මහත්තයො” කියාපු ලොක්කා වැටිල තිබ්බ බයික් එක පාරට අරන් දුන්න. අමාරුවෙන් දෙපයට වාරු අරන් පාර අයිනට ගිහින් බයික් එකේ නැගල, ඇස් දෙක පියාගෙන “ස්ටාට් වෙයන් මයෙ දෙයියෝ” කියල හිතාගෙන දෙකට දෙවාරෙන් සෙල්ෆ් ස්ටාට් බට්න් එක එබුවා.
මෙන්න යකෝ හෙන ගහන්න වගෙ බඩු ස්ටාට් උණා.
“බොහොම ස්තුතියි මාමෙ” ලොක්කාට ආචාර කරාපු මම එන්න පිටත් උණා.
“වෙලාවට පිදුරු ගොඩ තිබ්බෙ. බ්ලා බ්ලා බ්ලා....” ලොක්ක කියපු දේ බයික් එකේ එන්ජිමේ ගුජු ගුජු සද්දෙට යටපත් උණා.

උණේ මොකද්ද කියල හිතාගන්න බැරුව ආයෙම තෝන්තුවාවෙන් පාරෙ කිලෝමීටර් තුනක් විතර යද්දි වටාපිටාවෙ අමුත්තක් දැනුනා.
“බීමත්ව රිය පදවන්න එපා” කියල ගහපු බෝඩ් එකක් තියෙනව දැක්ක ඔහොම යනකොට පාර අයිනෙ.
“ඊයෙ දැකපු බෝඩ් එකමද මන්ද” මටම කියාගත්තු මම වටාපිටාව බල බලා පාරෙ යනව. ඔහොම තව ටිකක් ඉස්සරහට යනකොට හොඳට දැකල පුරුදු බෝක්කුවක් තියෙනව ඉස්සරහින්.

මොන හේතුවකටද මන්ද එතන බයික් එක ස්ලෝ කරපු මට බෝක්කු ගැට්ට එළලා තියෙන හරි හතරැස් ලේන්සු කඩමාල්ලකුයි කාලෙ බෝතලයකුයි පෙණුනා. එහෙම්මම බයික් එක නතර කරපු මම එතනින් බැස්සා.
එතකොටයි මං දැක්කෙ අර බෝතලේ මූඩිය පාර අයිනෙ තියෙනව. ඒක තැලිල හැබැයි හොඳටම. නැවිලා මූඩිය අතට අරගත්තු මට ඒකෙ පුංචි පුංචි හිල් තියෙනවා පෙණුන, හරියට නිකං හීනි උල් වලින් හිල් කරල වගේ.

බෝක්කුවයි, බයිසිකලෙයි පාරයි, වෙල් යායයි ඔක්කොම මගෙ වටේ කරකැවෙනව වගෙ දැනිච්ච මාව එතනම බිම ඉන්දුනා.

27 comments:

  1. මේ කතාව නිසා තමයි මම උඹව දැනගත්තේ

    ReplyDelete
    Replies
    1. ඒ දැනහැඳිනගැනීම ආයෙමත් තුහින පටන්ගන්න හේතුපාදක වෙච්චි කාරණා වලින් එකක්.
      ස්තුතියි සහෝ.

      Delete
  2. චතුවා, අටම්පහුරෙන් දැකලා ආවේ.

    සමහර බ්ලොග් ලියන අය කලබලේට ලියන බව පෙන්නේ, මට නම්. විශේෂයෙන්ම මේ වගේ නිර්මාණාත්මක ඒවා. සිංහල වුණත් නොදන්නකමට නෙවෙයි වරද්දන්නෙ කියලා දැනෙන්නේ.

    ඇත්තටම මට ඔබේ ලියවිල්ල මසුරන්!

    යකෝ මං බීලද බයිසිකලේ බීලද එහෙමත් නැත්තං මේ මහපාර බීලද කියල මට දැං හිතාගන්න බෑ.

    “මිනිස්සු මෙතනින් යන්නෙ ගෙදර ප්‍රශ්නයි, රස්සාව කරන තැන ප්‍රශ්නයි ඔලුවෙ පුරෝගෙන. ඒ මදිවට ටීවි එකේ යන මෙගා නාට්ටි වල තියෙන ප්‍රශ්නත් අම්බානෙක. ඉතිං යකෙක්ට බය වෙන්න වත් උන්ට සිහියක් නෑ”

    එතකොට තමයි මටත් මතක් උණේ බ්‍රෑන්ඩ් එක නොදැන නේද ගැහුවෙ කියල. හෙමීට බෝතලේ ඇස් දෙකට කිට්ටු කරල නම මොකද්ද කියල බැලුව. ලයිට් කණුවෙ යාන්තමට එල්ලිලා තියෙන බල්බ් එකේ ගැහෙන එළියෙන් මම අමාරුවෙන් අකුරු එක එක අමුණලා ඉංග්‍රිසියෙන් තිබ්බ, බීපු අරක්කු වල නම කියෝගත්තා.

    එතකොටයි මං දැක්කෙ අර බෝතලේ මූඩිය පාර අයිනෙ තියෙනව. ඒක තැලිල හැබැයි හොඳටම. නැවිලා මූඩිය අතට අරගත්තු මට ඒකෙ පුංචි පුංචි හිල් තියෙනවා පෙණුන, හරියට නිකං හීනි උල් වලින් හිල් කරල වගේ.

    මකුළු දැල් වලින් ලස්සනට සරසපු, උගෙ පාලු මහ ගෙදර.
    කිලෝ එකේ විතර කෑලි කපලා අතට ගන්න තරම් කළුවරයි.
    අපේ මැති ඇමතිවරු ළඟ එන්නෙත් රට සෙන්ට් සුවඳමයි. ඒත් උන් අතගාන්නෙ ජරාව, කරන්නෙ මළ යකෙක් වත් නොකරන අමනුස්ස වැඩ. ඇත්තටම මිනී කුණු ගඳ එන්න ඕන, පණපිටිං ඉන්න එවුන් ළඟ රට සෙන්ට් සුවඳ හමද්දි හොල්මනක් ගාව රට සෙන්ට් සුවඳක් එන්න බැරිද?


    ඔබේ අලුත් යෙදුම්, උපමා එහෙම මම ලියන එව්වයේත් තියේවිද මන්දා. ඔන්න දැන්මම ඒවාට ස්තුතියි කියනවා!


    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දිරිමත් කරාට.
      අපෝ කිසි ප්‍රශ්නයක් නෑ ඕන දෙයක් ගන්න මේකෙන්. එහෙම දකින්න තියෙනව නං ඒක ලොකු සතුටක්.
      ඇත්තෙන්ම!

      Delete
  3. අටම තමයි පාර කිවුවෙ ඕං.
    මේකනං පට්ට. හැම දෙයක් ගැනම හොඳ අවධානයක් ඇතුව හොඳට ගලපල ලියල තියෙන බව පේනව.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.
      ඉදිරි කතාත් කියවන්න එන්න.

      Delete
  4. හෙනට දිග උනාට මොක්ද එක හුස්මට කියෙව්වා අටම තමා පාර කිව්වේ ...ජය!

    ReplyDelete
    Replies
    1. කතාව දිග වැඩි ද?
      මේ මගෙ පළවෙනි කෙටි කතාව.
      ඊළඟ එක මීට වඩා කෙටි කරන්නම්.
      ස්තුතියි.
      :)

      Delete
    2. දිග වැඩි නෑ බන්. ඔය කියල තියෙන්නෙ පොඩ්ඩක් දිග වෙලත් ඉවර වෙනකම්ම දැනුනෙ නෑ කියල. එක එකා කියන ඒව අහල ලියන විදිය වෙනස් කරන්න එපා.

      Delete
  5. අඩේ.. අටමාගේ පාර දිගේ ආවේ! මල් මසුරං ඈ!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නාඩිරත්නයාණෙනි

      Delete
  6. පට්ට බං. මේක බුකියෙන් මිට ඉස්සර කියවලා තිබුනත් ආයෙත් පාරක් කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ආයෙම ආවට මේක කියවන්න.

      Delete
  7. අර අටං ගොයිය නොහොත් සකල සිංහල බ්ලොග් කලාවන්ට අධිපති අටං දෙවි රාජෝත්තමයානන් වහන්සේගේ අණ පරිද්දෙන් සියොව ආමි.මරුයැ. රහයැ.ආසික්යැ.මෙහෙම්ම ලියන් යන්ටයැ.

    ReplyDelete
    Replies
    1. අටං දෙවි රාජෝත්තමායණන් සැරද!
      (ආ සැර නැද්ද? එහෙනං අවුලක් නෑ)
      පැමිණියාට තුති මල් පුදමි.
      ඉදිරියේත් ලියන එව්වා බලන්ට ආ මැනවැ.

      Delete
    2. වාර්නිෂ් තරම්

      Delete
  8. අටම්ගෙ පාරෙන් ඇවිත් කියෙව්වා.
    මෝහිනීගෙ පොඩි එකා දැන් ලොකුයි නේද? අලුත් එකෙක් ඔනෙ වෙලා තමයි උම්බව නවත්තන් කතාවට සෙට් වෙලා තියෙන්නෙ

    ReplyDelete
  9. හේ හේ පට්ට පට්ට

    ReplyDelete
  10. අටමට පිං පාර කිව්වාට.එල.ලියාගෙන යමං පුතෙ.හැමදාම එන්නම් බලලා යන්න

    ReplyDelete
  11. නියම කතාව චතුවෝ. හරිම ලස්සනයි.

    ReplyDelete
  12. අපේ අටං සෑරුත් හොයාගන්න ජොයින්ට්.
    පවසලා පලක් නෑ සෑර්.

    ජයවේවා! ආයෙත් එන්නං ඈ.
    Myself Hattor.

    ReplyDelete
  13. lassanai Hodai Digatama liyamu

    ReplyDelete
  14. මුනුපොතේ කියවලා කෙමෙන්ට් එකකුත් ඩැම්මා...බ්ලොග් එක පැත්තට ආවේ අද

    ReplyDelete
  15. අටමගේ ලින්ක් එකෙන් ආවේ. පට්ට කතාවක් නේ

    ReplyDelete
  16. අටම් ලිංක් එකෙන් ආවෙමි..සුපිරීම කතංදරයක් කියෙව්වෙමි... උපරිමයෙන්ම සතුටු වූවෙමි... අටම් තුමාට පිනේ පිං දෙමි.

    ReplyDelete