Friday, June 21, 2019

පිටස්තර හදවත............



ආදරේ කලුයි!!! ඔව්, ඒක කලුම කළු පාටයි.

දැන් බලන්න එපා පුදුම වෙලා මොකද්ද මේ හරුපේ කියල.

මම එහෙම කියන්න එක හේතුවක් තියෙනවා. මොකද ආදරේ විටෙක සුන්දරයි, විටෙක දුකක්, තවත් විටෙක ත්‍රාසජනකයි, විටෙක අරුමයි, තවත් විටෙක ඒක කවියක් වගේ, තවත් වෙලාවකට කෙටි කතාවක් වගේ...............
ඉතිං ඔය එක එක හැගීම් එක එක වර්ණයන්ට සමාන කරොත්, අන්තිමට ඒවායේ සම්ප්‍රයුක්තය කලුයි. පාට පෙට්ටියක තියෙන පාට ඔක්කොම එකට ගාල බලන්න. අන්තිමට හැදෙන්නේ කලු පාට කියල ඔබට වැටහේවී. අන්න ඒ නිසාවෙන් තමයි මම කිව්වේ ආදරේ කලුයි කියල.
මොන දේ කරත් ආදරේ එක්ක තියෙන බැඳීම්, විශේෂයෙන්ම වේදනාත්මක මතකයන් අපිට අමතක කරන්න බැහැ කවදාවත්. කවුරු කොහොම මොනවා කිව්වත්,පුහුදුන් මනසක් තියෙන කෙනෙක්ට කවදාවත් ඕක අමතක කරන්න බෑ. අමතක කරා වගේ ඉන්න පුළුවන් උනාට.
සමහර විටෙක ඒක ගීත නාදයක් වෙන්න පුළුවන්, සුවඳක් වෙන්න පුළුවන්, චිත්‍රයක් හෝ වෙනයම් දර්ශනයක් වෙන්න පුළුවන්. මේ ඕනෑම දෙයකට පුළුවන් අපි යටපත් කරන් තියාගෙන ඉන්න හැගීම් නැවත මතක් කරන්න. ඕනෑම කෙනෙක්ව නොමරා මරන්න විරහ වේදනාවට පුළුවන් බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේ. ඒ වෙලාවට ජීවිතේ දැනෙන හිස් බව,පාළුව, කෙනෙක්ව සියදිවි හානි කරගන්න තත්වයට පවා පත් කරන්න පුළුවන් බවත් රහසක් නෙවෙයි.

අමතක කරන්න බැරි උනත්, ජීවිතේ අපිට අපි ආස කරන හැමදේම ලැබෙන්නේ නෑ කියන එක තේරුම් ගත්තොත් අපිට අපේ දුක යම් තාක් දුරකට පාලනය කරගන්න පුළුවන්. කලක් අපේම වෙලා තිබ්බ දෙයක් තව කාලෙක අපිට පිටස්තර යැයි දකිනා විට දැනෙන සිතුවිලි සමුදායක් මම පද පේලි ගොන්නක සිරකරා....



පිටස්තර හදවත

තරුද නිහඬය, සඳු ද සැඟවී
අඳුරු උණුහුම විඳගනු කෙලෙස
හිරුගෙන් වත් දැන් යදිමි සිසිලස
නෙතු පියන් වත් නොදත් මේ දුක

කීරි ගැහෙනා හඬින් වියැකුණ
තනිව සසරේ අතරමං සිත
පියා නෙතුපිය යදින්නට වත්
අහස් කුස නැත පැතුම් පොදි තව

එකෝමත් එක තවත් දවසෙක
අහස කුස ඉම පෙනෙන නොපෙනෙන
තරම් උසකට මැව් සිහින කඳු
සබඳ නුඹහට සිහිවෙද නොවෙද...............???

කොත්තුව


මේක මම ඒ ලෙවෙල් විභාගේ ලියලා රිසල්ට් එනකං ගෙදරට වෙලා බකං නිලාගෙන හිටි කාලේ වෙච්චි දෙයක්. ඔන්න ඉතිං පට්ට ගේමක් දීල විභාගේ ලියල (ප්‍රතිපල ගැන කතා නොකර ඉමු හරිය) ගෙදෙට්ට වෙලා ඉඳල එපාවෙලා හිටියේ මම ඒ දවස් වල. යාළුවො එක්ක ටවුන් එකේ රවුම් ගැහිල්ලත් තිත්ත වෙලයි තිබ්බේ. දැන් කොල්ලොන්ට වගේ ඒ කාලේ අපිට ෆේස් බුකිය තිබ්බේ නෑ කල් මරන්න ඕං. ඔන්න ඔහොම ඉන්නකොට ඒක දවසක් හදිසියේම ඇමතුමක් ආව අපේ පන්තියේ හිටි ගජා හෙවත් මගේ අතිජාත මිත්‍රයාගෙන් . පස්සේ පහු වෙත්දී වැස්සට අහුවෙලා පාට දියවෙලා ගිය සායමක් වගේ ඒ මිතුදම මැකිලා ගියත් ඒ කාලේ මට මගේම සහෝදරයෙක් වගේ හිටි යාළුවා තමයි ගජයා කියන්නේ.


“ අඩෝ චතුවා..... මොකද බං කරන්නේ?”මුකුත් නෑ බං ගෙදෙට්ට වෙලා ඉඳල එපා වෙලයි තියෙන්නේ.“යමංද බං ට්‍රිපක් වත්, මටත් එපාවෙලා ඉන්නේ බං.” ඉබ්බා දියේ දාන්න ඇහුව වාගේ මූ අහපි. මමත් ඉතිං හිතිං පන්තේරු නැටුම් නටන්න පටන් ගත්තා . ඒ ටිකට මගේ හිත ලංකාවේ හතර දිග්බාගේ පුරාම දුවන්න පටන් ගත්ත.
 ඒ ලෙවල් විභාගේ නිසා පහුගිය අවුරුදු තුනක විතර ඉඳල කොහෙවත් ට්‍රිපක් යන්න බැරුව හිටියේ මම. ගෙදර මිනිස්සු යන ට්‍රිප් උනත් මාව හලලා ගියේ ක්ලාස් හෙම කට් වෙයි කියල.(අපි ක්ලාස් කට් කරපුවා ගෙදරින් දන්නවනං...හම්මේහ්!) ඔහොම ඉතිං මොහොතක් මම කල්පනා සාගරේ ගිලෙන්න කියලා හැදුවා විතරයි රැල්ල පාගන ටිකට ආයේ ටෙලිෆෝන් එකේ අනෙත් පැත්තෙන් අරූ කෑ ගහන්න ගත්ත.“මොකද බොල ගල් ඉබ්බෝ සද්ද නැත්තේ??? උඹ එනවද නැද්ද කියහං” මම තිගැස්සිලා සිතුවිලි සාගරෙන් විසික්කා උණා හරියට රබර් ගෙඩි පුපුරලා රබර් ඇටයක් විසි වෙන්නා වගේ.එනවා එනවා බං, ඔක්කොටම ඉස්සෙල්ල කියහන්කෝ කොහෙද අපි දැන් යන්නේ කියල.“ඒක පස්සේ තීරණය කරන්න බැරියැ. අනිත් එවුං ගෙනුත් අහලා බලන්නම් මම ”එළමකිරි ගජා එහෙනං උඹ අහල මට කෝල් එකක් දිය. මම එනවා අනිවා.

ඔන්න ඔහොම ඉතිං අපේ මන්ත්‍රණ සභාවේ උදවිය කතා වෙලා නුවර එළියේ යන්න කතා කරගත්ත. ඔය ගමනට අපේ සැට් එකේ කොඩියා, කබරයා,බිත්තරයා ,නකයා ඇතුළු කොල්ලෝ 8ක් විතර එකතු වෙනවා කියල කොම්පෝම් කොරා.දැන් ඉතිං ඊළඟ කේස් ඒක තමයි සල්ලි. ට්‍රිපක් යනවානම් සල්ලි එපැයි. ගෙදෙට්ට වෙලා ඉන්න කාලේ කොහෙන් සල්ලි හොයන්නද ඉතිං. කොහොමහරි ඉතිං කියලා කියලා නොවඳිනා වැඳුම් වැඳලා අම්මගෙන් රුපියල් එකදාස් පන්සීයක් ශ්‍රී ලංකාවේ වලංගු මුදලින් ඉල්ලගත්ත. ඒක ගන්නත් මට පැය එකහමාරක විතර බහුවරණ පේපර් එකකට උත්තර දෙන්න උනා අපේ අම්මගේ. ගමන යන සෙට් එකේ හොඳ එවුන්ගේ නම් ටික විතරක් කියල යන්තම් කැමැත්ත ගත්ත.කලින් කතා කරගත් පරිදි පැය දෙකහමාරක විතර ගමනකින් කොටුවේ ඉස්ටේසම ඉස්සරහින් බැස්ස.

 ඒ වෙනකොටත් හවස හතට කාලක් විතර ඇති. හරියටම හතට කෝච්චිය කොටුවේ ඉස්ටේසැමට සැපත් වෙනවා. ඉස්ටේසම ඉස්සරහට යන්නත් කලින්ම අපේ නඩේ අඳුරගන්න එක මට ඒ හැටි අමාරු උනේ නැත්තේ කොතන ගියත් මුන් ටික අනන්‍යතාවය ඉහලින්ම රැකගෙන ඉන්න නිසයි. කොහොමහරි කට්ටිය ඔක්කොම ආවට පස්සේ අපේ භාණ්ඩාගාරික වෙච්චි බැරල් විසින් අපෙන් ලොන්තයක් දාල ටිකට් ගන්නෙයි කියල කවුන්ටරේ දිහාට ගියා. ඌ ටිකට් ගන්න අතරේ මම නිකමට අපේ සැට් එක දිහා බැලුව. අතින් එක මල්ලයි,කටින් මල්ලයි, නහයෙන් තව මල්ලකුයි එල්ලන් හරියට රෝහින්යා සරණාගත සෙට් එකක් වගේ ඉන්නවා එක පෙළට.


අපේ රටේ පාරම්පරික සම්ප්‍රදාය රකිමින් බදුල්ල නයිට් මේල් එක විනාඩි විස්සක්ම පරක්කු වෙලා ඔන්න ඉතින් හති හලාගෙන හූ කියාගෙන ඉස්ටේසම දිහාට බඩගෑව.අපිත් ඉතින් සෙනග අස්සේ තෙරපිලා,පොරකාගෙන දත කාගෙන එකම පෙට්ටියක, එල ලඟම සීට් සෙට් එකක් අල්ලගත්ත. අපරාදේ කියන්න බෑ ගොබිලෝ සෙට් එක නානු ඔයට යනකම් දෙයියනේ කියල කටවල් බලියන් නිදියපු නිසා යන ගමන එච්චර දිග උනේ නෑ.ඇට මිදුළු ගල් වෙන ගෙරි හීතලේ ගිනි පාන්දර නානුඔය ඉස්ටේසමෙන් බැස්ස අපි,එතනින් නුවර එලිය බස් එකක එල්ලිලා නුවර එලිය ටවුමට සේන්දු වෙනකොට යන්තම් උදේ හතට විතර ඇති. කොහොමහරි ටවුම වටේ කරක් ගහලා ටවුමට ටිකක් ඈතින් වෙන්න ගෙදරක අපි නවාතැන් ගන්න සෙට් උනා.

දවල් දවසේ නුවර එළියේ ඇවිදලා කියලා කරපු දේවල් මේකේ දාල මගේ ආදරණීය රසිකයින්ව තෙහෙට්ටු කරවන්න යන්නේ නැත්තේ ඒවා මේ කියන්න යන කතාවට අදාල නොවන නිසා.කොහොමහරි දවල් දවසේ එහෙ මෙහෙ ඇවිදලා, රෑට කන්න කියල හිතන් ටවුමට සේන්දු උනා අපි කස්ටිය. ඒ කාලේ ඉතින් නුවර එලිය ටවුමේ කෑම කන්න තැන් ගොඩක් තිබුනේ නෑ. කඩ ටික බලාගෙන යනකොට, අපේ සෙට් එකේ විකටයා(විගඩමා කිව්වොත් වඩා නිවැරදියි) හෙවත් චක්‍රවර්තියා අපිවත් ඇදගෙන කඩේකට රිංගුවා.මේස දෙකක් ඒකට යා කරන් වාඩි වෙච්චි අපි කන්නේ මොනවද කියන එක ගැන කල්පනා කරා. වටපිට බලපු මට, පළමු බැල්මට් එකෙම්ම කඩේ ගැන ඇති උනේ එතරම් සුබදායී හැගීමක් නෙවේ. අපි ළගට ආව වේටර් අයියගෙන් ඇහුව කන්න තියෙන්නේ මොනවද කියල.“කොත්තු විතරයි මල්ලි තියෙන්නේ රෑට” ,ඌ කිව්වා. “යකෝ උගේ ආච්චිගේ කඩයක් නේ. කොත්තු නම් හරියන්නේ නෑ. බත් ටිකක් කන්නම ඕනේ.” මගේ හිත මට ඇගිල්ලෙන් ඇනලා කිව්වා.


“ඒයි බං ගජා, මට බෑ බං කොත්තු කන්න. හෙට උදේට පස්ස නිකං ගිනි කන්දක් වගේ තියෙයි. වෙන මොකවත් කමුකෝ බං.” මම කිව්වා.“අඩෝ කොත්තු කමු බං” අහිංසක මම ඇරුණුකොටගෙන සභාවේ හිටි අනිත් ඔක්කොම එකහෙලා එක හඬින් කිව්වා. ඒත් ඉතින් මොනවා කරන්නද දැන්. මුන් ටික ඔක්කොම මේකේ කද්දී මම වෙන කඩේකට යන්නැයි. වෙන කරන්න දෙයක් නැති නිසා සහ බඩගින්න වැඩිකමටම බැරි බැරි ගාතේම ඉතින් කොත්තු කොටා බෑවා කිඹුලා එක්ස්පයර් වෙච්චි කිරිමැටි ගිලින්නා වගේ. මේකට ජිල්බෝල හොද්දකුත් තිබ්බනම් තවත් මරු. මම මටම කියාගත්ත.දැන් ඉතිං කාල ඉවරවෙලා තව ටිකක් වෙලා ටවුමේ කරක් ගහපු අපි නවාතැන්පලට සේන්දු උනා. වයිට් ලේබල් බාගයක් එක්ක ඒ රැය සුන්දර විදියට ගතවුණා කියමුකෝ.පහුවෙනිදට දාගෙන තිබ්බ ඔක්කොම වැඩ ටික කැන්සල් වෙන සිද්දියක් සෙට් උනා එකපාරටම අපි නොහිතාපු විදියට.

 ගෙදරින් දොට්ට තනියම අඩියක් වත් නොයවාපු “බිත්තරයා” ගේ සීයා නැති වෙලා කියලා හදිසියේම පණිවිඩයක් ආව. ඌට තනියම ආපහු යන්න තේරෙන්නේ නැතිකම සහ ඒ වෙලාවේ අපි ආතල් ගන්න එක හරි මදි නිසා අපි තීරණය කරා නැවත කොළඹ බලා පිටත් වෙන්න. ඩබල් එකේ බඩු ටික පැක් කරගත්තු අපි ඩබල් එකේම යන්න ඕන නිසා නුවරඑලිය බස් ස්ටෑන්ඩ් එකට ආව. උදේට කාල නොහිටපු නිසා අපේ බැරල් තුමා, සම්මාදම් මුදලින් අපිට කන්න කෙටි කෑම නොහොත් බිත්තර රෝල්ස් සහ තව මොනවදෝ මන්ද ටිකක් අරන් ආව. ස්ටෑන්ඩ් එකේ බස් එකක් නොතිබ්බ නිසා එතනම ඉදන් කන්න අපි තීරණය කරා. බස් ස්ටෑන්ඩ් එකේ හිටි අනෙකුත් උදවිය අමුතු සත්තු ටිකක් දිහා බලන්නාහේ අපි දිහාවට විස්තීර්ණ බැලුම් හෙලුවත්, ඉන් නොසැලී අපි අපේ බඩකට පුරවාගත්තේ අතිමහත් වූ භක්තියෙන් හා උද්යෝගයෙන් කියන එක නොකියාම බෑ. අපායට ගියත් කාල යන්න එපාය.

වැඩි වෙලාවක් යන්න කලිම්ම නුවරඑලිය කොළඹ AC බස් එකක් ආව ස්ටෑන්ඩ් ඒකට. දඩිබිඩි ගාල බස් ඒකට නගගත්තු අපි නොයිවසිල්ලෙන් බස් එක පිටත් වෙනකම් ඔහේ වල්පල් දොඩව දොඩවා කල් මැරුවා.ඔහොම පැය බාගයක් විතර කල් මරද්දී බස් එක නුවර එළියෙන් පිටත් උණා. ටික වෙලාවක් යත්දී එක එකා නිදිකිරා වැටෙන්න ගත්තත් මගේ හිතට නිකම් මොකක්දෝ මහා අමුත්තක් දැනෙන්න පටන් අරන් තිබ්බේ ඒ වෙනකොට. මුලින් මුලින් හිතට විතරක් දැනිච්ච ඒ අමුත්ත ටිකක් වෙලා යත්දී ගතටත් දැනෙනවා කියල මට දැනුනේ බඩ කැලතෙනවා වගේ තේරුණ නිසයි.

මුලින්ම බඩ ඇතුලේ කුඩා දිය සුලියක් වගේ එකක් තමයි ඇතිඋනේ මට මතක විදියට, ඉන් පස්සේ බඩ ඇතුලේ බ්ලෙන්ඩරයක් වගේ එකක් වැඩ කරන්න ගත්ත මට දැනුන. තවත් විනාඩි විස්සක් විතර යත්දී ආමාශය පතුලෙන් නිකම් උල් පිහියකින් අනිනවා වගෙත්, ආමාශේ උඩ හරියේ පොඩි ගින්නක් ඇවිලිලා වගේ ගතියකුත් දැනෙන්න අරගත්තා. අමාරුවෙන් එහාට මෙහාට ඇඹරෙන මගේ දිහා බලපු, එහා පැත්තේ වාඩිවෙලා හිටපු මගේ අතිජාත මිත්‍ර ගජා, “චතුවා මොකෝ බං ඇඹරෙන්නේ”“ඉන්න බෑ බං බඩ රිදෙනවා’’‘’හරි හරි ඔහොම ටිකක් ඉවසපන්කෝ, ටික දුරයිනෙ තව’යකෝ ගමන පටන් අරන් යන්තම් පැයක් ඇති, මූ කියනවා තව ටික දුරයිලු. එක අතකින් බඩ අල්ලගත්තු මම වකුටු උනේ වේදනාව ඒ තරම්ම මිහිරි නිසා. ACබස් එක ඇතුලේ අනිත් උන් කූළ එකේ යත්දී, මම ඉහින් කණින් දාඩිය පෙරාගෙන, ඇටි කෙහෙලට බැට දීපු අහිංසක උගුඩු පෝතකයෙක් වගේ ඇඹරි ඇඹරි ඉන්නවා. ඒ අස්සේ නඩේ එවුන්ගේ තුප්පහි කතා සහ සමච්චල් වලටත් මූණ දෙන්නෙපැයි.ඔන්න ඔහොම ඉවසගෙන තවත් පැය බාගෙක විතර දුරක් අමාරුවෙන් ආව.

 දැන්නම් ඉවසන්නම බෑ. ෂොපින් මල්ලක් හරි අරන් වැඩේ කරන්නමයි හිත මට. ඉන්න බැරිම තැන මම ගජාව අල්ලගත්ත (නෑ නෑ වැඩේ උනේ නෑ තවම) මම එලි බැහැල එනකම් බස් එක මා වෙනුවෙන් නවත්තගෙන ඉන්නේ නැති විත්තිය මම සක්සුදක් සේ දන්නවා.“එක්කෝ මම බැහැල,වැඩේ කරන් ඊළඟ බස් එකක එල්ලිලා එන්නම් බං” මම කිව්වා.මුන් ටික ඒකටත් කැමති නෑ. බස් එක තේ බොන්න නතර කරන්නේ කෑගල්ලේ. කෑගල්ලට වෙනකම් මෙහෙම යන්නත් බෑ. දෙයියෝ සිහි කරන් මම ඕන රෙද්දක් කියල නැගිට්ට.

“චිහ්! මේ යක්කු ඉන්නවා දැක්කේ නැහැනේ”



බස් එකේ කොන්ද කියනවා මට හීනෙන් වගේ ඇහුන. දෙයියෝ සාක්කි! දෙයියන්ටම පින් සිද්ධ වෙන්න, දේව දූතයෝ දෙන්නෙක් වගේ ට්‍රැපික් රාළහාමිලා දෙන්නෙක් බස් එක නතර කරා තනි ඉර කපල ඉස්සර කරා කියල. අන්න ඒ වෙලාවේ තමයි මටත් ගණදෙවි නුවන පහල උණේ. තප්පරෙන් දහයෙන් එකකටත් අඩු කාලෙකදී කොන්දට කිට්ටු කරපු මම. “අයියේ මේ පොඩි බඩේ අමාරුවක්, ටක් ගාල මම දුවල එන්නද ?” කියල ඇහුව. “හා හා මල්ලි හැබැයි ඉක්මනට එන්න” කියල කියන ගමන් ලයිසන්,ඉන්ෂුවරන්ස් එනම් මනම් ටිකත් අරන් මිනිහ එලියට බහින්න ලෑස්තිය.කොන්දවත් පෙරලගෙන බස් එකෙන් පැනපු මා දිහා අර පොලිස් රාළහාමිලා දෙන්න ඇස්දොට්ට දාගෙන බලන් හිටිය, ඒ දිහා බල බලා ඉන්න වෙලාවක් නොතිබුන නිසා මම ටක් ගාල ළඟ තිබ්බ ගෙදරකට දිව්වා හුරේ රන් එකේ.(වෙලාවට ගෙවල් තියෙන හරියක නතර කරේ. හැබැයි ඒ නැතත් කැලේට හරි දුවනවා ඉතින් වෙලාවේ හැටියට.)

කොහොමහරි ඒ ගේ පැත්තක වැසිකිලියක් තියෙනවා දැක්ක මම, ගෙදර උදවියට කරුණු කාරණා තේරුම් බේරුම් කර දිදී ඉන්න ගියොත් හෙම කලිසමේම මලපහ වීමේ අවදානම නොගෙන වහාම වැසිකිලියට දිව්වා. තප්පර හැටකටත් අඩු කාලයකදී සිරුරු කිස නිමා කරපු මට දැනුනේ වචනයෙන් කියලා නිම කරන්න බැරි,උපමා රූපක ආදේශ කරන්න බැරි තරමේ අමා සහනයක්.


එහෙම්මම දඩිබිඩි ගාල බස් එකට නගින්න කියල හිතාගෙන දුවනකොට ගෙදරින් එලියට ආපු මනුස්සයෙක් පුදුමෙන් මා දිහා බලා ඉන්නවා මම ඇස් කොනකින් දැක්කා. ගෙදර උදවියට,පරම්පරා හතක් යනකම් ආපස්සට හිටි ඔවුන්ගේ මුළුමහත් නෑදෑ සනුහරේටමත් සහ ඔවුන්ගේ නමින් මිය පරලොව ගිය හිත මිත්‍රාදීන්හටත් හිතින් අනෙක වාරයක් පින් දෙමින් මම බස් රථයට නැග්ගා. ඒ වෙනකනුත් බස් එකේ කොන්දයියා ඇවිල්ල හිටියේ නෑ. කොහොමහරි ඉතින් පොලිස් මාමලා එක්ක වැඩේ බේරුමක් කරගත්තු අපේ බස් එකේ රියදුරු මහත්තය සහ කොන්දයිය දෙන්න ආව.බස් එක නැවතත් සුපුරුදු ගමන් ලීලාවෙන් යන්න පිටත් උනා. ඔහොම ටිකක් වෙලා යනකොට මම දැක්ක ගජා ඉන්නවා දාඩිය පෙරාගෙන. “මොකෝ බං? වැඩේ හරිද උඹටත්?”මම ඇහුව.“ඔව් ඕයි,මටත් කෙලවේගෙන එන්නේ”ඒ අස්සේ මම දැක්ක අනිත් උනුත් එකා දෙන්න ඇඹරෙන්න ගන්නවා.

හිටුකෝ තොපිට! මට ඇද කර කර ආපු එකේ පලිය මම දැන් උන්ට කෝචෝක් පාර දාල ගන්නව. මම නං දැන් නිදහස් ගොවියෙක්, මොකද කියනවනම් වැසිකිලිය තුළ ගතකල ඒ කුඩා ඉසිඹුව මගේ බඩ මිරිස් පොත්තේ ඉඳල සුද්ද කරලා තිබ්බ නිසා.කොහොමහරි අපේ සැට් එකම දැන් ඇඹරෙනවා. ඕක තමයි මම තොපිට කිව්වේ ඊයේ රෑ කොත්තු කන්න බෑ කියල, කොහෙද උඹලගේ පෙරේතකම ලොකුයි නේ ඔක්කොටම වඩා. කුම්බලා මාළු කෑවානම් විඳවාපන් බළලෝ කියල මමත් උන්ට හිනාවෙවී හිටියා.දැන් කොහොමහරි පේරාදෙණිය හරිය කිට්ටු කරලා තිබ්බේ. ඉවසන්න බැරිම තැන අපේ බැරල් පුතා කොන්දයියට කිට්ටු කරලා කිව්වා වෙලා තියෙන සන්තෑසිය. “අයියෝ මල්ලි,එක්කෙනෙක් කලින් බැස්ස, දැන් ආයෙම මග දිගට නතර කර කර ඉන්න බැහැනේ.” කොන්දා නෝක්කාඩු මූඩ් එක දැම්ම.“ඉන්න බෑ අයියේ, අමාරුයි. එහෙනම් අපිව මෙතනින් හලන්න, වෙන බස් එකක එන්නම්” ඒ බැරලයා.

“හරි මල්ලි, අපි කෑගල්ලේ නතර කරනවා තේ බොන්න,ඕගොල්ලන්ව මම මාවනැල්ලෙන් බස්සන්නම්. ටක් ගාල වැඩේ කරන එන්න” කියාපු ඒ කරුණාවන්ත කොන්දයියා , තේ බොන්න නවත්තන තැන නමත් කිව්වා.ඒ අනුව මාවනැල්ල ටවුමෙන් හතර දෙනෙක් විතර බැහැගත්ත. තව පස් දෙනෙක් විතර මනරම් කෑගලු පුරවරය කරා ගොස් මිසෙක සිරුරු කිස නොකරන්නෙමුයි තිර අදිටනින් යුතුව බස් එකේ රැඳුනා. උන්ගේ මූනත්තහඩු දැක්කාම ඒ අදිටන පේනවා.බස් එකේ අනිත් මිනිස්සුන්ටත් හිනා දැන් මේ සීන් එකට. මොනවා කරන්නද ඔහොම ගිහින් කෑගල්ලේ තේ බොන කඩේ ළඟ බස් එක නතර කරන්න හම්බුනේ නැහැ, අර ඉතුරු පස් දෙනාත් වටේ පිටේ කඩ වලට වැසිකිලි පහසුකම් හොයාගෙන දුවන්න ගත්ත. කාම කන්න ආපු මිනිස්සු පෙරලගෙන කක්කුස්සි හොයන මේ අපතයෝ සෙට් එක දිහා කඩවල් වල මිනිස්සු බලන් හිටියේ .”මොන ලෝකෙකින් පාත් වෙච්චි ලපඩයෝ ටිකක්ද මුන්” වගේ බැල්මකින්.ටික වෙලාවක් යත්දී වර්ල්ඩ් කප් එක දිනපු ක්‍රිකට් ටීම් එකක් තමන්ගේ මව් රටට එනවා වගේ සතුටකින් මාවනැල්ලෙන් බැහැපු උන් ටිකත් ආව.

තේ බීල ඉවරවෙලා ආයේ බස් එක අද්දන්න කලින් කොහොමහරි කස්ටියම බස් එකට ගොඩ උනා.කොළඹට සේන්දු වෙන ගමන් ආයේ ට්‍රිප් ගිහින් බඩගින්නේ මග මළත්, කොත්තු නම් කන්නේ නෑ කියලා අපි අපිටම සපථ කරගත්තා.

අම්මෝ........................කොත්තුවක් කළ හදියක්!!!

නිදහස් අධ්‍යාපනය


 (මේකත් මගෙ පරණ බ්ලොග් එකේ එකක් - 2010/12/31)


පුස්තකාල ගාස්තු 200/=
විද්‍යාගාර පහසුකම් වලට 300/=

සනීපාරක්ෂක ගාස්තු 250/=
නඩත්තු වියදම් 1000/=
පාසැල සංවර්ධන අරමුදල 750/=
ක්‍රීඩා ගාස්තු 250/=
ආරක්ෂක ගාස්තු 200/=
අවුරුද්දට 2750/=
අධ්‍යාපනය නිදහසේ විකුණනු ලැබේ....................

Thursday, June 20, 2019

මෝහිනීගෙ ගල් කාල

(මගේ කුළුඳුල් කෙටි කතාව.)






පැනි බඹර සීයක් හමාරක් දාල වගෙ තෝන්තුවාවෙන් බැරි බැරි ගාතෙම බයික් එකට ගොඩ වෙච්චි මට
, සාක්කු දෙකට බැහැලා යතුර හොයාගන්න තව විනාඩි දහයක් විතර යන්නැති. අලුත් බයික් එක නිසා සෙල්ෆ් ස්ටාට් නියමෙට වැඩ. ගහපු ගමන් ස්ටාට් වෙච්චි බයික් එක මම හෙමීට මහ පාරට දැම්ම. ඇරල දාල යන්න ඕනෙ ඉක්මනට. ගෙදර ගියාම අම්මගෙ සුපුරුදු බැනුම් ටිකත් අහගෙන හෙට වැඩට එන්න ලෑස්ති වෙන්නත් එපැයි උදෙම්ම.හැත්තෑවට විතර මං ඇරල දාල එන්නව දැං. පාරත් සුනාමියට අහු උණා වගෙ පට්ටම පට්ට පාලුයි. බල්ලෙක් වත් නෑ. අඩුමතරමෙ බල්ලෙක්!

වෙලාව පාන්දර එකයි තිස් තුනට විතර ඇති. කිලෝ එකේ විතර කෑලි කපලා අතට ගන්න තරම් කළුවරයි. පාරත් පට්ටම පට්ට පාලුයි. මක් කරන්නද ඉතිං කොහොමහරි ගෙදර යන්නත් එපැයි. හවස හිතන් හිටියෙ පාටිය ඉවර උණත් නැතත් රෑ දහය වෙද්දි එතනින් දිරාමාර් වෙනව කියල. කොහෙද ඉතිං ආත්ම ගාණක් තිස්සෙ පෙරුම්පුරාගෙන ආපු පාප මිත්‍රයො ටිකත් එක්ක ඒව සුම්ම. ඩිලානයාට ඒරියා මැනේජර් පට්ටමක් පංගාර්තු වෙච්ච එකේ ප්‍රීතිය අපි සැමරුවෙ ටවුමෙන් කිලෝමීටර් දහයක් විතර එහා තිබිච්චි, මකුළු දැල් වලින් ලස්සනට සරසපු, උගෙ පාලු මහ ගෙදර.

බල්ලෙක් වත් නැති වෙලාවක කලුවරේ පාලු පාරක යන එකෙත් පොඩි ගතියක් තියෙනව. ඒ අසිරිය විඳින්න හිතනකොටම ටික ටික ඇක්සලේටරේ බුරුල් වෙනව මට දැනුණා. ආතල් සීමාව තිහේ තියාගෙන දැන් මම අවට අසිරිය විඳින ගමං යනවා. අසිරිය කිව්වට පාර දෙපැත්තෙ මෙලෝ දෙයක් පේන්නෙ නෑ. ඒ පේන්නෙ නැති කට්ට කරුවලේ මොනවහරි පෙනෙයි කියල හිතාගෙන යන එක වෙනමම ආතල් එකක්. තව කිලෝමීටර් තුනක් හතරක් යනකං පාර දෙපැත්තෙ වෙල් යාය මේ හරියෙ ලයිට් කණු තිබ්බත් අපරාදෙ කියන්න බෑ එකක වත් ලයිට් නෑ. මූණ ලාවට පිහදාගෙන යන හුළං පාරත් එක්ක ලේ වල තිබ්බ ඇල්කොහොල් තවත් ප්‍රමුදිත වෙනව මට දැනුනා.
මේ වැඩේ කරන්න බෑ. පාරත් වැනෙනවා, බයික් එකත් වැනෙනවා ඊට අමතරව මාවත් වෙනමම වැනෙනව මට දැනෙනව. යකෝ මං බීලද බයිසිකලේ බීලද එහෙමත් නැත්තං මේ මහපාර බීලද කියල මට දැං හිතාගන්න බෑ. පාරෙ සීමාව ලකුණු කරන්න මීටර් සීයෙන් සීය වගෙ හිටෝපු මිටි කොන්ක්‍රීට් කණු මගෙ දිහා බලාගෙන හිනාවෙනව වගෙ මට පෙනුනා. බිම ඉඳන් අඟල් හයක් අටක් විතර තියෙන කලු පටි නිසා ඒව පෙනුනෙ හරියට කලු කොට කලිසම් ඇඳගත්තු සුදු වාමනයො වගෙ. ඒව මට හිනා වෙනවද මා එක්ක හිනාවෙනවද කියලවත් හිතාගන්න බැරි උණාට පහුවෙන හැම මිටි කණුවක් එක්කම ආපහු හැරිලත් හිනා වෙන්න මම අමතක කරේ නෑ.


කොච්චර සූර් උණත් ඒ හොඳ සිරිත් අමතක කරන්න හොඳ නෑ. ඔහොම යනකොට එකපාරටම බයික් එක තදින් වෙවුලනව මට දැනුන. මෙච්චර වෙලා යසට මෝල කුලප්පු වෙච්චි එන්ජිම එකපාරටම ඩහ්! නතර වෙලා ගියා.
සෙල්ෆ් ස්ටාට් බට්න් එක එබුවට මෝටරේ වදින්නෙත් නෑ. දහ පහලොස් පාරක් ඒක උඩ නැගගෙන එබුවයින් පස්සෙ ඒක මට එපා උණා. ඒ පාර මම සත්තිය දාල කික් කරන්න පටන් ගත්ත ඒකෙන් වත් ස්ටාට් වෙයි කියල හිතාන.


ම්හු! මොන! එන්ජිම නෙවෙයි ඇහැරුණේ. වෙර වීරිය අරන් මම දැන් කික් කරනවා දිගට හරහට සහ පළලට. ෂර්ට් එක ඇඟට ඇලෙන තරම් දාඩියයි. නළල දිගේ ගලාගෙන ආපු දාඩිය බින්දුවක් ඇස් කකියවාගෙන ඇස් කෙවෙනි වලට කාන්දු වෙනවා දැනුනා.


“මේ ලබ්බ ස්ටාට් වෙන්නෙ නෑ වගෙ මේ කපේ” නෝක්කාඩු ස්වරයෙන් මටම කොඳුරගත්තු මම කරන්න දෙයක් නැති තැන බයික් එකෙන් බැස්ස. දැන් ඉතිං මොකද කරන්නෙ. මට දැං ඇඬිල ඉන්නෙ, මේ අටමගලෙත් තල්ලු කරන් යන්නෙපැයි මනුස්ස වාසයක් තියෙන තැනකට මුලින්ම මොනව කරන්නත් කලින්. සරීරයේ සියලු සක්තිය කකුල් දෙකට දීපු මම ඕඩි හෙලෙයි, හේල හෙලෙයි කියල දැන් බයික් එකත් තල්ලු කරන් ඔහොම වැනි වැනී යනව.


ඒ අස්සෙ ගුඩුස් එකක් ආවෙ මෙන්ඩිස් රස ආයෙම මතක් කරගෙන. ඔහොම්මම මීටර් පන්සීයක් විතර යන්නැති. පාර අයිනෙ තඩි බෝඩ් එකකුත් තියෙනවා “බීමත්ව රිය පදවන්න එපා” කියල. හරි ඉතිං කණ පැලෙන්න බීල හිටියට මම යන්නෙ තල්ලු කරගෙන නෙ. බීමත්ව මෝටර් බයික් තල්ලු කරං යන්නෙපා කියල කොහෙවත් ගහල නැහැනෙ. දැන්නම් සාක්කු දෙකේ තිබ්බ කන් දෙක පාත් වෙල බිම ගෑවෙන තරමට මං හැක් වෙලා. ඒ අස්සෙ මට දැන් පේනව මේ පට්ට කලුවර පාරෙ මට මීටර් සීයක් හමාරකින් එකම එක ලයිට් කණුවක ලයිට් එකක් පත්තු වෙනව. හැබැයි ඒකත් ගැහි ගැහි. ඒ ගැහෙන එළියෙන් මට පේනව පොඩි බෝක්කුවක්. එතන කවුරුහරි ඉන්නවා වගේත්. තවත් හොඳට ඇස් දෙක පිහදාපු මං දැක්ක එතන පොඩි ළමයෙක් වඩාගෙන සුදු ඇඳගත්තු ගෑනියෙක්.
ආයෙම පාරක් ඇස් දෙක පිහදැම්ම. ඒත් මුන් දෙන්න ඉන්නව.


අම්මටසිරි!
මෝහිනී වත්ද?


ආයෙ දෙකක් නෑ ඒකි තමා.මේ වෙලාවට මෝහිනී නැතුව නිසංසලා ඉන්නද යකෝ පාරෙ.
ජරමර අස්සෙ බර කරත්ත කිව්වලු. කාල වරෙංකො දැන්.


මම බෝක්කුව ළඟට කිට්ටු කරනකං මෝහිණී හිනාවේගෙන බලා ඉන්නවා.

“රෙදි අන්දන්න නං කියන්නෙපා හරිය! හැතැම්ම ගානක් මේ රෙද්ද තල්ලු කරං ඇවිල්ල මට දැං හික් ගෑවිල ඉන්නෙ” මම තරහෙන් මෝහිනීට කිව්ව.

“කව්ද ඕයි තමුසෙට රෙද්දක් හදන්න කිව්වෙ?” මෝහිනී උත්තර දුන්නෙ කින්ඩියට වගෙ.

හැබෑටම යකෝ මෝහිනී කියන්නෙ රෙද්ද හදන්න කියල නෙවෙයිනෙ.
ආ හරි!


“ළමයි බමයි වඩාගන්න නං ලොවෙත් බෑ දැං” බයික් එකේ සයිඩ් ස්ටෑන්ඩ් එක ගහපු මම බෝක්කුව ළඟට ගිහින් සාක්කුවෙන් දාඩිය පුස්ඹ හමන ලේන්සු කෑල්ල එලියට අරං බෝක්කු ගැට්ට උඩ එළලා ඉඳගත්ත.
“දැන් මම එහෙම කිව්වෙත් නෑනෙ නේද?” මේකි ආයෙම හිනා වෙනව.
යකෝ! මේකි බලකො.

“ආ නැද්ද, එහෙනම් අවුලක් නෑ” මම නහය හාරන්න ගත්ත.
“ලැජ්ජ නැද්ද යකෝ ගෑනියෙක් ඉස්සරහ නහය හාරන්න”
මේකි නං අම්මපා යක්ස අම්මණ්ඩි කෙනෙක් අම්මප.
“අනේ බං මෝහිනී, යක්කුන්ට මොන සිරිත්ද ඕයි. අනික ඔතන ගෑනියෙක් විතරක් යැ. ළමයෙකුත් ඉන්නවනෙ”
එහෙම කියනවත් එක්කම මෝහිනීගෙ අතේ හිටි පොඩි එකා මා දිහා හැරිල උගෙ ටීක් බෝල වගෙ ඇස් කරකෝලා හිනාවක් දැම්ම. අම්මෝ උගෙ දත් සැට් එක. පීරිගාලා වගෙ උලට තිබ්බ පුංචි දත් ටික හිරමනේකට නං මරු.
“තමුසෙල ගාව නැති උණාට යමලෝකෙ ඉන්න අපිට සිරිත් විරිත් තියෙනව ඕයි”

තවත් නං ඇවිදින්න බෑ වාහනයක් එනකං කීය වෙනකල් හරි මෙතන ඉන්නව කියල හිතාගෙන මම තවත් හරිබරි ගැහිල වාඩි උණා.
“උඹ මොකෝ මෙතන කරන්නෙ” මං මෝහිනීගෙන් ඇහුව.
“වෙනද කරන දේම තමා ඉතිං” කකුලෙ මහපටැඟිල්ලෙන් පොලව හාරන ගමං මෝහිනී කිව්ව.

“වෙනද මොකද කරන්නෙ?”

“ ඇයි යකෝ පිරිමියෙක් එනකං ඉඳල මේ බබා වඩාගන්න කියනවනෙ”
“ඉතිං දැං උඹ මට කිව්වෙ නැහැනෙ” මට දැං හෙන ප්‍රශ්නයක්.

“මං දැක්ක තමුසෙ ඈත තියා ඔය යකඩ ගොඩ තල්ලු කරං එනව. තමුසෙ ආපු දුක්ඛිත විදිය දැක්කාම මෝහිනීට උණත් හිතෙන්නෙ නෑ එහෙම දෙයක් කියන්න.”

“හරි දැං වෙන එකෙක් ආව කියහංකො, ළමය වඩාගන්න දීල ඊටපස්සෙ මොකද කරන්නෙ? තමුසෙ රෙද්ද හදාගන්නවද?”
“නෑ යකෝ උගෙ බොටුවට පැනලා ලේ බොනවා” ගෙරවිල්ලක් එක්ක මෝහිනී කියාපි.

“මේ වෙනකොට කී දෙනෙක් නම් එහෙම මරලා ලේ බීල තියෙනවද?” මං ඇහුව.

“එකෙක් වත් නෑ” වෙල් යායම කම්පා වෙන තරමෙ සුසුමක් හෙළපු මෝහිනී දුකෙන් බිම බලාගෙන බෝක්කුවෙ කෙළවරකින් වාඩි උනා.
“ඒ මොකද ඒ?” යකින්නක් දුක් වෙනව දැක්ක පළවෙනි පාර.
“ එකෙක්ට වත් මාව පේන්නෑනෙ යකෝ!” මේකි නෝක්කාඩුවක් කියන්න ගත්ත.
“මම දැං කොච්චර කාලයක් තිස්සෙ මෙතන ඉඳගෙන අත වනනවද, එකෙක්ට මාව පේන්නෙ නෑනෙ”
“එහෙම වෙන්න විදියක් නෑනෙ, මේ මං දැක්කෙ.”


“මිනිස්සු මෙතනින් යන්නෙ ගෙදර ප්‍රශ්නයි, රස්සාව කරන තැන ප්‍රශ්නයි ඔලුවෙ පුරෝගෙන. ඒ මදිවට ටීවි එකේ යන මෙගා නාට්ටි වල තියෙන ප්‍රශ්නත් අම්බානෙක. ඉතිං යකෙක්ට බය වෙන්න වත් උන්ට සිහියක් නෑ”


මෝහිනී කොක් හඬලන්න ගත්ත. ටික ටික ඒ හිනාව විලාපෙකට හැරුනා.
මල මගුලක් නෙ යකෝ මේක, මට හෙට වැඩට යන්නත් තියෙනව. ඒ මදිවට මේ යකින්න මෙතන වැලපෙනව. තියෙන ප්‍රශ්න මදිවට. කවුරුහරි එකෙක් මෙතනින් ගියොත් හිතන්නෙ ලොවෙත් මම මෝහිනීට මොකක් හරි අකටයුත්තක් කරල කියල. බෝක්කු ගැට්ටෙ ඉන්න ගමං ජැකට් එකේ සාක්කු දෙකට අත් දෙක රිංගවාගෙන මම කල්පනා කරන්න ගත්ත. ඒ අස්සෙ වම් පැත්තෙ සාක්කුවෙ ටිකක් බර දෙයක් තියෙනව මට දැනුන.
අම්මටසිරි! කාලෙ බෝතලයක් නේද මේ?
ජැකට් එක අස්සට කොහෙන්ද යකෝ කාලෙ බෝතලයක් ආවෙ. මම දැං දහ අතේ කල්පනා කරනව. මෝහිනී තාම වැලපෙනව. එකපාරට මට මරු අයිඩියාවක් ආව. මේ මැජික් අරිෂ්ටෙට පුලුවන් ප්‍රාතිහාර්‍යය පාන්න.
“හරි හරි උඹ වැලපෙන්නැතුව හිටපං” කියපු මම අර කාලෙ බෝතලේ එලියට අරං මූඩිය ඇරියා.


අම්මේ පුසුඹ!

“දුක තුනී වෙන්නත් එක්ක අඩියක් ගහමු.” මං මෝහිනීට කතා කරා.
මෙන්න යකෝ නෑ බෑ නොකිය මේකි ඇවිත් මා ළඟින් ඉඳගත්ත. යක්කු පෙරේතයො ළඟ මිනී කුණු ගඳයි කියල අහල තිබ්බට මෝහිනී ගාවින් ආවෙ රට සෙන්ට් සුවඳක්. අපේ මැති ඇමතිවරු ළඟ එන්නෙත් රට සෙන්ට් සුවඳමයි. ඒත් උන් අතගාන්නෙ ජරාව, කරන්නෙ මළ යකෙක් වත් නොකරන අමනුස්ස වැඩ. ඇත්තටම මිනී කුණු ගඳ එන්න ඕන, පණපිටිං ඉන්න එවුන් ළඟ රට සෙන්ට් සුවඳ හමද්දි හොල්මනක් ගාව රට සෙන්ට් සුවඳක් එන්න බැරිද? මම මගෙන්ම අහගත්ත.
පුලුවන් නේ. ඇයි ඉතිං ඔය එන්නෙ. මමම ඒකට උත්තරෙත් සපයගත්තා.
“හැබැයි ඉතිං අමුවෙන් තමයි” අමු අරක්කු ටිකක් උගුරට හලාගත්තු මම බෝතලේ මෝහිනීට දික් කරා.


අන්නස්‍රෝතය රත් කරගෙන, ගළනාලය පුච්චගෙන රස්නෙට ගිනි වතුර ටික බඩට යනකම්ම දැනුණා.
“ඒකට කමක් නෑ. මං මීට කලින් බීල තියෙනව බොල” කියල කාලෙ බෝතලේ අතට ගත්තු මෝහිනී එක උගුරට ස්‍රාස් ගාල බෝතලේම ගහල දැම්ම.

“මොකද්ද යකෝ ඒ කරේ? එක උගුරයි බොන්න හම්බුනෙත්. තෝ නං යස්සනියක්ම තමා” මම කෑ ගැහුව නෙවෙයි මට කෑ ගැස්සුනා. ඇයි සීවරං දෙයි හාමුදුරුවනේ මේ වගෙ පොලොව නූහුලන අපරාදයක් ඇස් පනාපිට කොහොම ඉවසන්නද. අපරාදෙ! මට ආයෙම ගුඩුස් එකක් ගියා.
මෝහිනීගෙ අතින් බෝතලේ උදුරගත්තු මම ඒකෙ අඩියෙම ඉතුරු වෙලා තිබ්බ අරක්කු බින්දු ටික කටට හලාගත්තෙ හෙන පෙරේතකමකින්. ඇත්තටම මොන රහකට බොනවදත් මන්ද ඕයි මේව අපි.
අන්තිම අරක්කු අණුවත් මගෙ කටට වැටෙනකං බෝතලේ අල්ලං හිටි මම බෝතලේ පාත් කරද්දි දැක්ක හෝස් පවර් තුන් කාලක විතර මෝටරයක් හයි කරල වගෙ මෝහිනීගෙ ඔලුව බෙල්ල වටේ කැරකෙනව.

“මොනවද පරයො මේ බ්‍රෑන්ඩ් එක? අම්ම මුත්ත කාලෙක වත් බීල නෑ මෙහෙම දහ ජරාවක්” මෝහිනී විකාරෙන් වගෙ ඇහුව. මේකි දැං බයිට් එකට මාව ගන්න සයිස්. සාමාන්‍ය සයිස් එකට හිටි මෝහිනී එකපාරටම විසාල වෙලා මාව එක අතකින් අරන් “කටස්” ගාල කටින් කඩලා බාගයක් හපලා ගිලිනවා මට මැවිලා පෙණුනා. හික් ගෑවිච්චි මම ඊළඟ තප්පරේදි පියවි සිහියට ආව.

එතකොට තමයි මටත් මතක් උණේ බ්‍රෑන්ඩ් එක නොදැන නේද ගැහුවෙ කියල. හෙමීට බෝතලේ ඇස් දෙකට කිට්ටු කරල නම මොකද්ද කියල බැලුව. ලයිට් කණුවෙ යාන්තමට එල්ලිලා තියෙන බල්බ් එකේ ගැහෙන එළියෙන් මම අමාරුවෙන් අකුරු එක එක අමුණලා ඉංග්‍රිසියෙන් තිබ්බ, බීපු අරක්කු වල නම කියෝගත්තා.

Ultra Tough Clear Satincoat Varnish”

අම්ම ගහයි බේස්බෝල් බැට් එකෙන් කිව්වලු. යකෝ මම බීල තියෙන්නෙ වාර්නිෂ් නෙ. මමනං බිව්වෙ උගුරයි බින්දු දෙක තුනයි. ඒත් මේ යස්සනී??? දහ්! ගාන සද්දයක් ඇහෙද්දි ඉබේම මට මෝහිනී දිහා බැලුනා. මළා!
පෙරේතය පොලොවෙ ගැහුව වගේ මෝහිනී බිම දපලා. පොඩි එකා බිම ඉඳගෙන බෝතලේ මූඩිය කටේ දාල කියත් දැති වගෙ උල් දත් වලින් හපන ගමන් මා දිහා බලලා කිණ්ඩි හිනාවක් දැම්ම.
යකෝ මේ හොල්මන මැරිලද? මාවත් තව ටිකෙන් මැරෙයිද? නොමළොත් මෝහිනීව මැරුව කියල මාව පොලිසියෙන් ඇරෙස්ට් කරන් යයිද? ඔෆිස් එකේ උන් ටික මාව බලන්න පොලිසියට එයිද? කූඩුව ඇතුලෙ ඉන්නකොට මගෙ පාප මිත්‍රයො ටික ඇවිල්ලා
“අඩෝ උඹ මෝහිනීවත් මැරුව එහෙනං ඈ” කියල කෝචොක් පාර දානකොට ලොකප් එකේ තියෙන යකඩ කූරක් ගලවලා උන්ට ගහන්න මට හිතෙන එකක් නැද්ද? මේ වගෙ දහසකුත් එකක් ප්‍රායෝගික ගැටළු මගෙ ඔලුවට වද දෙන්න ගත්ත. මොනව උණත් එකට අඩිය ගැහුවනෙ කියල මෝහිනීව නැගිට්ටන්න හදනකොටම මාව පතුලක් නැති අගාදෙකට ඇදගෙන වැටෙනවා දැනුණා. පැය ගාණක් තිස්සෙ මාව ඒ විදියට වැටෙන්නැති.
“ඕයි, නැගිටිනවා! රෑ තිස්සෙ බීගෙන මෙතන අපෙත් දවසම මුස්පේන්තුයි මේ යක්කු නිසා”
කව්දෝ මන්ද එකෙක් මොර දෙනවා ඇහුණා. මාර වැඩේ, මාව වැටෙන එක නතර වෙලා. අගාදෙ පතුලෙ ඉන්න එකෙක් තමා මේ කෑගහනව ඇත්තෙ කියල මම හිමීට ඇස් දෙක ඇරියා. ගොයම් කපාපු වෙලක වේලිච්චි ලියද්දක් කෙලවර ගොඩ ගහල තිබ්බ පිදුරු ගොඩක ඉඳන් මම නැගිට්ටා. ඊට මීටර් හය හතක් ඈතින් මගේ දඬු මොනර රාජයා සැතපිලා ඉන්නවා මම දැක්ක. අත පය බ්ලේඩ් තල වලින් හූරලා වගෙ දැවිල්ලයි. අත් දෙකම හීරිලා ලේ පාට එන්නම.

“මොන මල ජරාව බීල එනවද මන් දන්නෙ නෑ තුහ් යකෝ ගඳ විතරක්” ඔන්න ආයෙම අර කටහඬ.
නූල් ඇදිච්චි තුවා කෑල්ලකින් ජටාවක් ගහගත්තු, සරම කැහැපොට ගහත්තු වයස අවුරුදු හැටක විතර තලස්තෑනි පොරක් මගෙ ඉස්සරහ”
අනිත් වෙලාවට බ්‍රේක් නැති මගෙ කට මෙවෙලෙ නං ඇරුනෙ නෑ ලැජ්ජාව වැඩිකමටම.

“මම මේ කොහෙද ඉන්නෙ? කෝ මෝහිනී? ඕගොල්ලො එයාව ඉස්පිරිතාලෙකට වත් ගෙනිච්චද?” මම පොරගෙන් ඇහුව.

“තාම වෙරිද කොහෙද මේ ලොන්ත කොකටුවට. මොන මෝහිනියෙක්ද බොල? තෝ මේ බීල ඇවිල්ල පාර අයිනෙ දෙරි ගැහිල හිටියෙ” ලොක්කා ආයෙම දෝස්මුරයක් දැම්ම.

එතකොට මම දැකල තියෙන්නෙ හීනයක්ද?
හම්මේ ඇති යන්තම්. එතකොටයි ඇඟට ලේ ටිකක් ඉනුවෙ. තව ඩිංගෙන් පොලිසි උසාවි ගානෙ රස්තියාදු වෙන්න වෙනව හොල්මනක් මැරුව කියල.
“පව් නොදී ගෙදර යනව මහත්තයො” කියාපු ලොක්කා වැටිල තිබ්බ බයික් එක පාරට අරන් දුන්න. අමාරුවෙන් දෙපයට වාරු අරන් පාර අයිනට ගිහින් බයික් එකේ නැගල, ඇස් දෙක පියාගෙන “ස්ටාට් වෙයන් මයෙ දෙයියෝ” කියල හිතාගෙන දෙකට දෙවාරෙන් සෙල්ෆ් ස්ටාට් බට්න් එක එබුවා.
මෙන්න යකෝ හෙන ගහන්න වගෙ බඩු ස්ටාට් උණා.
“බොහොම ස්තුතියි මාමෙ” ලොක්කාට ආචාර කරාපු මම එන්න පිටත් උණා.
“වෙලාවට පිදුරු ගොඩ තිබ්බෙ. බ්ලා බ්ලා බ්ලා....” ලොක්ක කියපු දේ බයික් එකේ එන්ජිමේ ගුජු ගුජු සද්දෙට යටපත් උණා.

උණේ මොකද්ද කියල හිතාගන්න බැරුව ආයෙම තෝන්තුවාවෙන් පාරෙ කිලෝමීටර් තුනක් විතර යද්දි වටාපිටාවෙ අමුත්තක් දැනුනා.
“බීමත්ව රිය පදවන්න එපා” කියල ගහපු බෝඩ් එකක් තියෙනව දැක්ක ඔහොම යනකොට පාර අයිනෙ.
“ඊයෙ දැකපු බෝඩ් එකමද මන්ද” මටම කියාගත්තු මම වටාපිටාව බල බලා පාරෙ යනව. ඔහොම තව ටිකක් ඉස්සරහට යනකොට හොඳට දැකල පුරුදු බෝක්කුවක් තියෙනව ඉස්සරහින්.

මොන හේතුවකටද මන්ද එතන බයික් එක ස්ලෝ කරපු මට බෝක්කු ගැට්ට එළලා තියෙන හරි හතරැස් ලේන්සු කඩමාල්ලකුයි කාලෙ බෝතලයකුයි පෙණුනා. එහෙම්මම බයික් එක නතර කරපු මම එතනින් බැස්සා.
එතකොටයි මං දැක්කෙ අර බෝතලේ මූඩිය පාර අයිනෙ තියෙනව. ඒක තැලිල හැබැයි හොඳටම. නැවිලා මූඩිය අතට අරගත්තු මට ඒකෙ පුංචි පුංචි හිල් තියෙනවා පෙණුන, හරියට නිකං හීනි උල් වලින් හිල් කරල වගේ.

බෝක්කුවයි, බයිසිකලෙයි පාරයි, වෙල් යායයි ඔක්කොම මගෙ වටේ කරකැවෙනව වගෙ දැනිච්ච මාව එතනම බිම ඉන්දුනා.