Thursday, June 20, 2019

මෝහිනීගෙ ගල් කාල

(මගේ කුළුඳුල් කෙටි කතාව.)






පැනි බඹර සීයක් හමාරක් දාල වගෙ තෝන්තුවාවෙන් බැරි බැරි ගාතෙම බයික් එකට ගොඩ වෙච්චි මට
, සාක්කු දෙකට බැහැලා යතුර හොයාගන්න තව විනාඩි දහයක් විතර යන්නැති. අලුත් බයික් එක නිසා සෙල්ෆ් ස්ටාට් නියමෙට වැඩ. ගහපු ගමන් ස්ටාට් වෙච්චි බයික් එක මම හෙමීට මහ පාරට දැම්ම. ඇරල දාල යන්න ඕනෙ ඉක්මනට. ගෙදර ගියාම අම්මගෙ සුපුරුදු බැනුම් ටිකත් අහගෙන හෙට වැඩට එන්න ලෑස්ති වෙන්නත් එපැයි උදෙම්ම.හැත්තෑවට විතර මං ඇරල දාල එන්නව දැං. පාරත් සුනාමියට අහු උණා වගෙ පට්ටම පට්ට පාලුයි. බල්ලෙක් වත් නෑ. අඩුමතරමෙ බල්ලෙක්!

වෙලාව පාන්දර එකයි තිස් තුනට විතර ඇති. කිලෝ එකේ විතර කෑලි කපලා අතට ගන්න තරම් කළුවරයි. පාරත් පට්ටම පට්ට පාලුයි. මක් කරන්නද ඉතිං කොහොමහරි ගෙදර යන්නත් එපැයි. හවස හිතන් හිටියෙ පාටිය ඉවර උණත් නැතත් රෑ දහය වෙද්දි එතනින් දිරාමාර් වෙනව කියල. කොහෙද ඉතිං ආත්ම ගාණක් තිස්සෙ පෙරුම්පුරාගෙන ආපු පාප මිත්‍රයො ටිකත් එක්ක ඒව සුම්ම. ඩිලානයාට ඒරියා මැනේජර් පට්ටමක් පංගාර්තු වෙච්ච එකේ ප්‍රීතිය අපි සැමරුවෙ ටවුමෙන් කිලෝමීටර් දහයක් විතර එහා තිබිච්චි, මකුළු දැල් වලින් ලස්සනට සරසපු, උගෙ පාලු මහ ගෙදර.

බල්ලෙක් වත් නැති වෙලාවක කලුවරේ පාලු පාරක යන එකෙත් පොඩි ගතියක් තියෙනව. ඒ අසිරිය විඳින්න හිතනකොටම ටික ටික ඇක්සලේටරේ බුරුල් වෙනව මට දැනුණා. ආතල් සීමාව තිහේ තියාගෙන දැන් මම අවට අසිරිය විඳින ගමං යනවා. අසිරිය කිව්වට පාර දෙපැත්තෙ මෙලෝ දෙයක් පේන්නෙ නෑ. ඒ පේන්නෙ නැති කට්ට කරුවලේ මොනවහරි පෙනෙයි කියල හිතාගෙන යන එක වෙනමම ආතල් එකක්. තව කිලෝමීටර් තුනක් හතරක් යනකං පාර දෙපැත්තෙ වෙල් යාය මේ හරියෙ ලයිට් කණු තිබ්බත් අපරාදෙ කියන්න බෑ එකක වත් ලයිට් නෑ. මූණ ලාවට පිහදාගෙන යන හුළං පාරත් එක්ක ලේ වල තිබ්බ ඇල්කොහොල් තවත් ප්‍රමුදිත වෙනව මට දැනුනා.
මේ වැඩේ කරන්න බෑ. පාරත් වැනෙනවා, බයික් එකත් වැනෙනවා ඊට අමතරව මාවත් වෙනමම වැනෙනව මට දැනෙනව. යකෝ මං බීලද බයිසිකලේ බීලද එහෙමත් නැත්තං මේ මහපාර බීලද කියල මට දැං හිතාගන්න බෑ. පාරෙ සීමාව ලකුණු කරන්න මීටර් සීයෙන් සීය වගෙ හිටෝපු මිටි කොන්ක්‍රීට් කණු මගෙ දිහා බලාගෙන හිනාවෙනව වගෙ මට පෙනුනා. බිම ඉඳන් අඟල් හයක් අටක් විතර තියෙන කලු පටි නිසා ඒව පෙනුනෙ හරියට කලු කොට කලිසම් ඇඳගත්තු සුදු වාමනයො වගෙ. ඒව මට හිනා වෙනවද මා එක්ක හිනාවෙනවද කියලවත් හිතාගන්න බැරි උණාට පහුවෙන හැම මිටි කණුවක් එක්කම ආපහු හැරිලත් හිනා වෙන්න මම අමතක කරේ නෑ.


කොච්චර සූර් උණත් ඒ හොඳ සිරිත් අමතක කරන්න හොඳ නෑ. ඔහොම යනකොට එකපාරටම බයික් එක තදින් වෙවුලනව මට දැනුන. මෙච්චර වෙලා යසට මෝල කුලප්පු වෙච්චි එන්ජිම එකපාරටම ඩහ්! නතර වෙලා ගියා.
සෙල්ෆ් ස්ටාට් බට්න් එක එබුවට මෝටරේ වදින්නෙත් නෑ. දහ පහලොස් පාරක් ඒක උඩ නැගගෙන එබුවයින් පස්සෙ ඒක මට එපා උණා. ඒ පාර මම සත්තිය දාල කික් කරන්න පටන් ගත්ත ඒකෙන් වත් ස්ටාට් වෙයි කියල හිතාන.


ම්හු! මොන! එන්ජිම නෙවෙයි ඇහැරුණේ. වෙර වීරිය අරන් මම දැන් කික් කරනවා දිගට හරහට සහ පළලට. ෂර්ට් එක ඇඟට ඇලෙන තරම් දාඩියයි. නළල දිගේ ගලාගෙන ආපු දාඩිය බින්දුවක් ඇස් කකියවාගෙන ඇස් කෙවෙනි වලට කාන්දු වෙනවා දැනුනා.


“මේ ලබ්බ ස්ටාට් වෙන්නෙ නෑ වගෙ මේ කපේ” නෝක්කාඩු ස්වරයෙන් මටම කොඳුරගත්තු මම කරන්න දෙයක් නැති තැන බයික් එකෙන් බැස්ස. දැන් ඉතිං මොකද කරන්නෙ. මට දැං ඇඬිල ඉන්නෙ, මේ අටමගලෙත් තල්ලු කරන් යන්නෙපැයි මනුස්ස වාසයක් තියෙන තැනකට මුලින්ම මොනව කරන්නත් කලින්. සරීරයේ සියලු සක්තිය කකුල් දෙකට දීපු මම ඕඩි හෙලෙයි, හේල හෙලෙයි කියල දැන් බයික් එකත් තල්ලු කරන් ඔහොම වැනි වැනී යනව.


ඒ අස්සෙ ගුඩුස් එකක් ආවෙ මෙන්ඩිස් රස ආයෙම මතක් කරගෙන. ඔහොම්මම මීටර් පන්සීයක් විතර යන්නැති. පාර අයිනෙ තඩි බෝඩ් එකකුත් තියෙනවා “බීමත්ව රිය පදවන්න එපා” කියල. හරි ඉතිං කණ පැලෙන්න බීල හිටියට මම යන්නෙ තල්ලු කරගෙන නෙ. බීමත්ව මෝටර් බයික් තල්ලු කරං යන්නෙපා කියල කොහෙවත් ගහල නැහැනෙ. දැන්නම් සාක්කු දෙකේ තිබ්බ කන් දෙක පාත් වෙල බිම ගෑවෙන තරමට මං හැක් වෙලා. ඒ අස්සෙ මට දැන් පේනව මේ පට්ට කලුවර පාරෙ මට මීටර් සීයක් හමාරකින් එකම එක ලයිට් කණුවක ලයිට් එකක් පත්තු වෙනව. හැබැයි ඒකත් ගැහි ගැහි. ඒ ගැහෙන එළියෙන් මට පේනව පොඩි බෝක්කුවක්. එතන කවුරුහරි ඉන්නවා වගේත්. තවත් හොඳට ඇස් දෙක පිහදාපු මං දැක්ක එතන පොඩි ළමයෙක් වඩාගෙන සුදු ඇඳගත්තු ගෑනියෙක්.
ආයෙම පාරක් ඇස් දෙක පිහදැම්ම. ඒත් මුන් දෙන්න ඉන්නව.


අම්මටසිරි!
මෝහිනී වත්ද?


ආයෙ දෙකක් නෑ ඒකි තමා.මේ වෙලාවට මෝහිනී නැතුව නිසංසලා ඉන්නද යකෝ පාරෙ.
ජරමර අස්සෙ බර කරත්ත කිව්වලු. කාල වරෙංකො දැන්.


මම බෝක්කුව ළඟට කිට්ටු කරනකං මෝහිණී හිනාවේගෙන බලා ඉන්නවා.

“රෙදි අන්දන්න නං කියන්නෙපා හරිය! හැතැම්ම ගානක් මේ රෙද්ද තල්ලු කරං ඇවිල්ල මට දැං හික් ගෑවිල ඉන්නෙ” මම තරහෙන් මෝහිනීට කිව්ව.

“කව්ද ඕයි තමුසෙට රෙද්දක් හදන්න කිව්වෙ?” මෝහිනී උත්තර දුන්නෙ කින්ඩියට වගෙ.

හැබෑටම යකෝ මෝහිනී කියන්නෙ රෙද්ද හදන්න කියල නෙවෙයිනෙ.
ආ හරි!


“ළමයි බමයි වඩාගන්න නං ලොවෙත් බෑ දැං” බයික් එකේ සයිඩ් ස්ටෑන්ඩ් එක ගහපු මම බෝක්කුව ළඟට ගිහින් සාක්කුවෙන් දාඩිය පුස්ඹ හමන ලේන්සු කෑල්ල එලියට අරං බෝක්කු ගැට්ට උඩ එළලා ඉඳගත්ත.
“දැන් මම එහෙම කිව්වෙත් නෑනෙ නේද?” මේකි ආයෙම හිනා වෙනව.
යකෝ! මේකි බලකො.

“ආ නැද්ද, එහෙනම් අවුලක් නෑ” මම නහය හාරන්න ගත්ත.
“ලැජ්ජ නැද්ද යකෝ ගෑනියෙක් ඉස්සරහ නහය හාරන්න”
මේකි නං අම්මපා යක්ස අම්මණ්ඩි කෙනෙක් අම්මප.
“අනේ බං මෝහිනී, යක්කුන්ට මොන සිරිත්ද ඕයි. අනික ඔතන ගෑනියෙක් විතරක් යැ. ළමයෙකුත් ඉන්නවනෙ”
එහෙම කියනවත් එක්කම මෝහිනීගෙ අතේ හිටි පොඩි එකා මා දිහා හැරිල උගෙ ටීක් බෝල වගෙ ඇස් කරකෝලා හිනාවක් දැම්ම. අම්මෝ උගෙ දත් සැට් එක. පීරිගාලා වගෙ උලට තිබ්බ පුංචි දත් ටික හිරමනේකට නං මරු.
“තමුසෙල ගාව නැති උණාට යමලෝකෙ ඉන්න අපිට සිරිත් විරිත් තියෙනව ඕයි”

තවත් නං ඇවිදින්න බෑ වාහනයක් එනකං කීය වෙනකල් හරි මෙතන ඉන්නව කියල හිතාගෙන මම තවත් හරිබරි ගැහිල වාඩි උණා.
“උඹ මොකෝ මෙතන කරන්නෙ” මං මෝහිනීගෙන් ඇහුව.
“වෙනද කරන දේම තමා ඉතිං” කකුලෙ මහපටැඟිල්ලෙන් පොලව හාරන ගමං මෝහිනී කිව්ව.

“වෙනද මොකද කරන්නෙ?”

“ ඇයි යකෝ පිරිමියෙක් එනකං ඉඳල මේ බබා වඩාගන්න කියනවනෙ”
“ඉතිං දැං උඹ මට කිව්වෙ නැහැනෙ” මට දැං හෙන ප්‍රශ්නයක්.

“මං දැක්ක තමුසෙ ඈත තියා ඔය යකඩ ගොඩ තල්ලු කරං එනව. තමුසෙ ආපු දුක්ඛිත විදිය දැක්කාම මෝහිනීට උණත් හිතෙන්නෙ නෑ එහෙම දෙයක් කියන්න.”

“හරි දැං වෙන එකෙක් ආව කියහංකො, ළමය වඩාගන්න දීල ඊටපස්සෙ මොකද කරන්නෙ? තමුසෙ රෙද්ද හදාගන්නවද?”
“නෑ යකෝ උගෙ බොටුවට පැනලා ලේ බොනවා” ගෙරවිල්ලක් එක්ක මෝහිනී කියාපි.

“මේ වෙනකොට කී දෙනෙක් නම් එහෙම මරලා ලේ බීල තියෙනවද?” මං ඇහුව.

“එකෙක් වත් නෑ” වෙල් යායම කම්පා වෙන තරමෙ සුසුමක් හෙළපු මෝහිනී දුකෙන් බිම බලාගෙන බෝක්කුවෙ කෙළවරකින් වාඩි උනා.
“ඒ මොකද ඒ?” යකින්නක් දුක් වෙනව දැක්ක පළවෙනි පාර.
“ එකෙක්ට වත් මාව පේන්නෑනෙ යකෝ!” මේකි නෝක්කාඩුවක් කියන්න ගත්ත.
“මම දැං කොච්චර කාලයක් තිස්සෙ මෙතන ඉඳගෙන අත වනනවද, එකෙක්ට මාව පේන්නෙ නෑනෙ”
“එහෙම වෙන්න විදියක් නෑනෙ, මේ මං දැක්කෙ.”


“මිනිස්සු මෙතනින් යන්නෙ ගෙදර ප්‍රශ්නයි, රස්සාව කරන තැන ප්‍රශ්නයි ඔලුවෙ පුරෝගෙන. ඒ මදිවට ටීවි එකේ යන මෙගා නාට්ටි වල තියෙන ප්‍රශ්නත් අම්බානෙක. ඉතිං යකෙක්ට බය වෙන්න වත් උන්ට සිහියක් නෑ”


මෝහිනී කොක් හඬලන්න ගත්ත. ටික ටික ඒ හිනාව විලාපෙකට හැරුනා.
මල මගුලක් නෙ යකෝ මේක, මට හෙට වැඩට යන්නත් තියෙනව. ඒ මදිවට මේ යකින්න මෙතන වැලපෙනව. තියෙන ප්‍රශ්න මදිවට. කවුරුහරි එකෙක් මෙතනින් ගියොත් හිතන්නෙ ලොවෙත් මම මෝහිනීට මොකක් හරි අකටයුත්තක් කරල කියල. බෝක්කු ගැට්ටෙ ඉන්න ගමං ජැකට් එකේ සාක්කු දෙකට අත් දෙක රිංගවාගෙන මම කල්පනා කරන්න ගත්ත. ඒ අස්සෙ වම් පැත්තෙ සාක්කුවෙ ටිකක් බර දෙයක් තියෙනව මට දැනුන.
අම්මටසිරි! කාලෙ බෝතලයක් නේද මේ?
ජැකට් එක අස්සට කොහෙන්ද යකෝ කාලෙ බෝතලයක් ආවෙ. මම දැං දහ අතේ කල්පනා කරනව. මෝහිනී තාම වැලපෙනව. එකපාරට මට මරු අයිඩියාවක් ආව. මේ මැජික් අරිෂ්ටෙට පුලුවන් ප්‍රාතිහාර්‍යය පාන්න.
“හරි හරි උඹ වැලපෙන්නැතුව හිටපං” කියපු මම අර කාලෙ බෝතලේ එලියට අරං මූඩිය ඇරියා.


අම්මේ පුසුඹ!

“දුක තුනී වෙන්නත් එක්ක අඩියක් ගහමු.” මං මෝහිනීට කතා කරා.
මෙන්න යකෝ නෑ බෑ නොකිය මේකි ඇවිත් මා ළඟින් ඉඳගත්ත. යක්කු පෙරේතයො ළඟ මිනී කුණු ගඳයි කියල අහල තිබ්බට මෝහිනී ගාවින් ආවෙ රට සෙන්ට් සුවඳක්. අපේ මැති ඇමතිවරු ළඟ එන්නෙත් රට සෙන්ට් සුවඳමයි. ඒත් උන් අතගාන්නෙ ජරාව, කරන්නෙ මළ යකෙක් වත් නොකරන අමනුස්ස වැඩ. ඇත්තටම මිනී කුණු ගඳ එන්න ඕන, පණපිටිං ඉන්න එවුන් ළඟ රට සෙන්ට් සුවඳ හමද්දි හොල්මනක් ගාව රට සෙන්ට් සුවඳක් එන්න බැරිද? මම මගෙන්ම අහගත්ත.
පුලුවන් නේ. ඇයි ඉතිං ඔය එන්නෙ. මමම ඒකට උත්තරෙත් සපයගත්තා.
“හැබැයි ඉතිං අමුවෙන් තමයි” අමු අරක්කු ටිකක් උගුරට හලාගත්තු මම බෝතලේ මෝහිනීට දික් කරා.


අන්නස්‍රෝතය රත් කරගෙන, ගළනාලය පුච්චගෙන රස්නෙට ගිනි වතුර ටික බඩට යනකම්ම දැනුණා.
“ඒකට කමක් නෑ. මං මීට කලින් බීල තියෙනව බොල” කියල කාලෙ බෝතලේ අතට ගත්තු මෝහිනී එක උගුරට ස්‍රාස් ගාල බෝතලේම ගහල දැම්ම.

“මොකද්ද යකෝ ඒ කරේ? එක උගුරයි බොන්න හම්බුනෙත්. තෝ නං යස්සනියක්ම තමා” මම කෑ ගැහුව නෙවෙයි මට කෑ ගැස්සුනා. ඇයි සීවරං දෙයි හාමුදුරුවනේ මේ වගෙ පොලොව නූහුලන අපරාදයක් ඇස් පනාපිට කොහොම ඉවසන්නද. අපරාදෙ! මට ආයෙම ගුඩුස් එකක් ගියා.
මෝහිනීගෙ අතින් බෝතලේ උදුරගත්තු මම ඒකෙ අඩියෙම ඉතුරු වෙලා තිබ්බ අරක්කු බින්දු ටික කටට හලාගත්තෙ හෙන පෙරේතකමකින්. ඇත්තටම මොන රහකට බොනවදත් මන්ද ඕයි මේව අපි.
අන්තිම අරක්කු අණුවත් මගෙ කටට වැටෙනකං බෝතලේ අල්ලං හිටි මම බෝතලේ පාත් කරද්දි දැක්ක හෝස් පවර් තුන් කාලක විතර මෝටරයක් හයි කරල වගෙ මෝහිනීගෙ ඔලුව බෙල්ල වටේ කැරකෙනව.

“මොනවද පරයො මේ බ්‍රෑන්ඩ් එක? අම්ම මුත්ත කාලෙක වත් බීල නෑ මෙහෙම දහ ජරාවක්” මෝහිනී විකාරෙන් වගෙ ඇහුව. මේකි දැං බයිට් එකට මාව ගන්න සයිස්. සාමාන්‍ය සයිස් එකට හිටි මෝහිනී එකපාරටම විසාල වෙලා මාව එක අතකින් අරන් “කටස්” ගාල කටින් කඩලා බාගයක් හපලා ගිලිනවා මට මැවිලා පෙණුනා. හික් ගෑවිච්චි මම ඊළඟ තප්පරේදි පියවි සිහියට ආව.

එතකොට තමයි මටත් මතක් උණේ බ්‍රෑන්ඩ් එක නොදැන නේද ගැහුවෙ කියල. හෙමීට බෝතලේ ඇස් දෙකට කිට්ටු කරල නම මොකද්ද කියල බැලුව. ලයිට් කණුවෙ යාන්තමට එල්ලිලා තියෙන බල්බ් එකේ ගැහෙන එළියෙන් මම අමාරුවෙන් අකුරු එක එක අමුණලා ඉංග්‍රිසියෙන් තිබ්බ, බීපු අරක්කු වල නම කියෝගත්තා.

Ultra Tough Clear Satincoat Varnish”

අම්ම ගහයි බේස්බෝල් බැට් එකෙන් කිව්වලු. යකෝ මම බීල තියෙන්නෙ වාර්නිෂ් නෙ. මමනං බිව්වෙ උගුරයි බින්දු දෙක තුනයි. ඒත් මේ යස්සනී??? දහ්! ගාන සද්දයක් ඇහෙද්දි ඉබේම මට මෝහිනී දිහා බැලුනා. මළා!
පෙරේතය පොලොවෙ ගැහුව වගේ මෝහිනී බිම දපලා. පොඩි එකා බිම ඉඳගෙන බෝතලේ මූඩිය කටේ දාල කියත් දැති වගෙ උල් දත් වලින් හපන ගමන් මා දිහා බලලා කිණ්ඩි හිනාවක් දැම්ම.
යකෝ මේ හොල්මන මැරිලද? මාවත් තව ටිකෙන් මැරෙයිද? නොමළොත් මෝහිනීව මැරුව කියල මාව පොලිසියෙන් ඇරෙස්ට් කරන් යයිද? ඔෆිස් එකේ උන් ටික මාව බලන්න පොලිසියට එයිද? කූඩුව ඇතුලෙ ඉන්නකොට මගෙ පාප මිත්‍රයො ටික ඇවිල්ලා
“අඩෝ උඹ මෝහිනීවත් මැරුව එහෙනං ඈ” කියල කෝචොක් පාර දානකොට ලොකප් එකේ තියෙන යකඩ කූරක් ගලවලා උන්ට ගහන්න මට හිතෙන එකක් නැද්ද? මේ වගෙ දහසකුත් එකක් ප්‍රායෝගික ගැටළු මගෙ ඔලුවට වද දෙන්න ගත්ත. මොනව උණත් එකට අඩිය ගැහුවනෙ කියල මෝහිනීව නැගිට්ටන්න හදනකොටම මාව පතුලක් නැති අගාදෙකට ඇදගෙන වැටෙනවා දැනුණා. පැය ගාණක් තිස්සෙ මාව ඒ විදියට වැටෙන්නැති.
“ඕයි, නැගිටිනවා! රෑ තිස්සෙ බීගෙන මෙතන අපෙත් දවසම මුස්පේන්තුයි මේ යක්කු නිසා”
කව්දෝ මන්ද එකෙක් මොර දෙනවා ඇහුණා. මාර වැඩේ, මාව වැටෙන එක නතර වෙලා. අගාදෙ පතුලෙ ඉන්න එකෙක් තමා මේ කෑගහනව ඇත්තෙ කියල මම හිමීට ඇස් දෙක ඇරියා. ගොයම් කපාපු වෙලක වේලිච්චි ලියද්දක් කෙලවර ගොඩ ගහල තිබ්බ පිදුරු ගොඩක ඉඳන් මම නැගිට්ටා. ඊට මීටර් හය හතක් ඈතින් මගේ දඬු මොනර රාජයා සැතපිලා ඉන්නවා මම දැක්ක. අත පය බ්ලේඩ් තල වලින් හූරලා වගෙ දැවිල්ලයි. අත් දෙකම හීරිලා ලේ පාට එන්නම.

“මොන මල ජරාව බීල එනවද මන් දන්නෙ නෑ තුහ් යකෝ ගඳ විතරක්” ඔන්න ආයෙම අර කටහඬ.
නූල් ඇදිච්චි තුවා කෑල්ලකින් ජටාවක් ගහගත්තු, සරම කැහැපොට ගහත්තු වයස අවුරුදු හැටක විතර තලස්තෑනි පොරක් මගෙ ඉස්සරහ”
අනිත් වෙලාවට බ්‍රේක් නැති මගෙ කට මෙවෙලෙ නං ඇරුනෙ නෑ ලැජ්ජාව වැඩිකමටම.

“මම මේ කොහෙද ඉන්නෙ? කෝ මෝහිනී? ඕගොල්ලො එයාව ඉස්පිරිතාලෙකට වත් ගෙනිච්චද?” මම පොරගෙන් ඇහුව.

“තාම වෙරිද කොහෙද මේ ලොන්ත කොකටුවට. මොන මෝහිනියෙක්ද බොල? තෝ මේ බීල ඇවිල්ල පාර අයිනෙ දෙරි ගැහිල හිටියෙ” ලොක්කා ආයෙම දෝස්මුරයක් දැම්ම.

එතකොට මම දැකල තියෙන්නෙ හීනයක්ද?
හම්මේ ඇති යන්තම්. එතකොටයි ඇඟට ලේ ටිකක් ඉනුවෙ. තව ඩිංගෙන් පොලිසි උසාවි ගානෙ රස්තියාදු වෙන්න වෙනව හොල්මනක් මැරුව කියල.
“පව් නොදී ගෙදර යනව මහත්තයො” කියාපු ලොක්කා වැටිල තිබ්බ බයික් එක පාරට අරන් දුන්න. අමාරුවෙන් දෙපයට වාරු අරන් පාර අයිනට ගිහින් බයික් එකේ නැගල, ඇස් දෙක පියාගෙන “ස්ටාට් වෙයන් මයෙ දෙයියෝ” කියල හිතාගෙන දෙකට දෙවාරෙන් සෙල්ෆ් ස්ටාට් බට්න් එක එබුවා.
මෙන්න යකෝ හෙන ගහන්න වගෙ බඩු ස්ටාට් උණා.
“බොහොම ස්තුතියි මාමෙ” ලොක්කාට ආචාර කරාපු මම එන්න පිටත් උණා.
“වෙලාවට පිදුරු ගොඩ තිබ්බෙ. බ්ලා බ්ලා බ්ලා....” ලොක්ක කියපු දේ බයික් එකේ එන්ජිමේ ගුජු ගුජු සද්දෙට යටපත් උණා.

උණේ මොකද්ද කියල හිතාගන්න බැරුව ආයෙම තෝන්තුවාවෙන් පාරෙ කිලෝමීටර් තුනක් විතර යද්දි වටාපිටාවෙ අමුත්තක් දැනුනා.
“බීමත්ව රිය පදවන්න එපා” කියල ගහපු බෝඩ් එකක් තියෙනව දැක්ක ඔහොම යනකොට පාර අයිනෙ.
“ඊයෙ දැකපු බෝඩ් එකමද මන්ද” මටම කියාගත්තු මම වටාපිටාව බල බලා පාරෙ යනව. ඔහොම තව ටිකක් ඉස්සරහට යනකොට හොඳට දැකල පුරුදු බෝක්කුවක් තියෙනව ඉස්සරහින්.

මොන හේතුවකටද මන්ද එතන බයික් එක ස්ලෝ කරපු මට බෝක්කු ගැට්ට එළලා තියෙන හරි හතරැස් ලේන්සු කඩමාල්ලකුයි කාලෙ බෝතලයකුයි පෙණුනා. එහෙම්මම බයික් එක නතර කරපු මම එතනින් බැස්සා.
එතකොටයි මං දැක්කෙ අර බෝතලේ මූඩිය පාර අයිනෙ තියෙනව. ඒක තැලිල හැබැයි හොඳටම. නැවිලා මූඩිය අතට අරගත්තු මට ඒකෙ පුංචි පුංචි හිල් තියෙනවා පෙණුන, හරියට නිකං හීනි උල් වලින් හිල් කරල වගේ.

බෝක්කුවයි, බයිසිකලෙයි පාරයි, වෙල් යායයි ඔක්කොම මගෙ වටේ කරකැවෙනව වගෙ දැනිච්ච මාව එතනම බිම ඉන්දුනා.

ගයියාගේ Rhyme එක


මේක මගේ පරණ තුහින බ්ලොග් එකෙන් ගත්තු එකක්. එඩිට් නොකර එහෙම්මම දැම්ම ඔන්න.




සෑහෙන කාලෙකට පස්සේ ආයෙමත් තුහින යවත්කල් කරන්න ඕනේ කියල හිතුනා. අලුත් අවුරුද්දේ පළමු මතක ආවර්ජනය මීට අවුරුදු දහ අටකට එපිටින් වෙච්චි සිදුවීමකින් අරඹන්න ඕනේ කියල හිතුනා.මේක මට හදිසියේම මතක් උනේ අන්තර්ජාලයේ සැරිසරනකොට දැකපු පින්තුරයක් හින්ද. 




 මෙන්න මේ ඉහළින් තියෙන්නේ,ඔන්න ඕක දැකල තමයි මට මතක් උනේ පරණ සිද්ධිය.ඉංගිරිස් පීරියඩ් එකේදි තමයි මේ කියන කතන්දරේ උනේ...තුන වසරේ තමයි එතකොට හිටියේ මම(කොට කලිසම් ඇඳගෙන හොටු පෙරාගෙන ඉන්න කාලේ නෙව).මට මතක හැටියට මිස්ගේ නම "අනෝමා". මතක හැටියට නෙවෙයි, මිස්ගෙ නම අනෝමා.දවසක් දැන් ඔන්න පන්තියේ එවුන්ට මිස් කිව්වා ඉංග්‍රීසි කවියක් එහෙමත් නැත්තන් poem එකක් කියන්නෙයි කියල. පන්තියේ සම සමව හොටු කෙල්ලෝ සහ හොටු කොල්ලෝ හිටියා. දැන් මිස් අරක කියන්න කිව්වා විතරයි එක එකා මූණට මූණ බලං කුටු කුටු ගාන්න පටන් ගත්ත.ක්ලාස් එකේ හිටියා "ෂෙහාරි" කියල ගෑල්ලමයෙක්. මෙයා ඉතිං ටිකක් විතර පොස් එක්කෙනෙක් ඈ.මේකි දැන් විහාර මහා දේවිය වගේ නැගිටලා ගිහිං ක්ලාස් එක ඉස්සරහා කිව්වා ඉංගිරිස් කයියක්,එහෙමත් නැත්තන් English Rhyme එකක්. "roly poly pudding..........."



Wednesday, June 19, 2019

ආයෙමත් තුහින වැටෙන්න පටන් අරං...

ඔව්, තුහින තමයි. කලින් ලියන්න පටන් ගත්තු තුහින බ්ලොග් එකට, ඒ කියන්නෙ මීට අවුරුදු නවයකට කලියෙන් පොඩියට කරගෙන ගියපු මගේ අහිංසක පාලු බ්ලොග් එකට මොකක් හෝ හේතුවක් නිසා මට ලොග් වෙන්න බෑ. දන්න දහං ගැට සේරම දැම්මත් මට ඒකට ලොග් වෙන්න බෑ.ට්‍රයි කරල බැරිම තැන මොන මගුලක්ද නිකං කාලෙ නාස්ති කරන්නෙ කියල අලුතින්ම පටන් ගන්න හිතුව මේක. අලුත් නමක් දාන්නත් හදල එක්කො පරණ නමින්ම කරගෙන යනව කියල හිතාගෙන පරණ බ්ලොග් එකේ තියෙන සමහරක් දේවල් විතරක් අලුත් එකේ දානව කියල හිතාගත්ත. ඔන්න එහෙනං අවසරයි ආයෙම හිතේ පතිත වෙච්චි හිතුවිලි බින්දු එකින් එක අකුරු කරන්න...

Friday, November 11, 2011

පොපි මලක්...


අදඑහෙමත් නැත්තන් නොවැම්බර් 11 කියන්නේ පොපි සැමරුම් දිනය,එනම් තමුන්ගේ මාතෘභූමිය වෙනුවෙන් ස්වර්ණමය අල්තාරයක් බඳු වූ මහී කාන්තාවගේ තුරුලේ තමුන්ගේ අවසන් හුස්ම පොදත් පූජා කරපු ඒ අමරණීය,උදාර මිනිසුන් සිහිකරමින් ලොව වටා ජනයා පොපි මලකින් තමන්ගේ ඇඳුම සරසාගෙන කරන නිහඬ බුහුමන් දැක්වීම නොහොත් ගෞරව පුද කරන දවස.

බොහොමයක් දෙනා අමතක උනා වගේ හිටියට මේක මුළු මහත් සකල ශ්‍රීලාංකික වාසී හැමදෙනාටම අතිමහත් වැදගත්කමක් තියෙන දවසක්,ඒ මොකද කියනවනං පුරා වසර තිහක් ඔස්සේ රුදුරු ත්‍රස්තවාදීන් සමග දේශයේ ස්වෛරී භාවය වෙනුවෙන් දහසක් පියවරුන්,සොයුරන්,සොයුරියන්,පෙම්වතුන්,පෙම්වතියන්,මි තුරන්,මිතුරියන් කී දහසක් නම් අපිට අහිමි වෙන්නට ඇත්ද,
ඉතින් මුළු ලෝකෙම සමරන මේ පොපි දිනය ගැන හොයල පොඩ්ඩක් අතීත මතක පොතේ පිටු කීපයක් පෙරලන්න හිතුන මේ සුවිශේෂී වූ දවසේ,දහසකුත් එකක් වැඩ මධ්‍යයේ උනත්.


මේකේ ඉතිහාසය පළමු ලෝක යුද්ධ කාලය වෙත දිව යනවා.මේ විශේෂ සිදුවීම උනේ 1918 වසරේ,ප්‍රංශයේ උතුරු දිග ෆ්ලාන්ඩර්ස් සහ පිකාඩි පළමු ලෝක මහා සංග්‍රාමයේ දරුණු ප්‍රහාරයට මැදිවෙලා ගම්බිම්, ගොඩනැගිලි වගේම සාරවත්ව තිබ්බ ගොවිබිම් හිටන් නිසරු වෙලා,මඩ ගොහොරු බවට පත් වෙලා තිබුණා විතරක් නෙවෙයි,තමුන්ගේ මාතෘ භුමිය වෙනුවෙන් දිවි පුදපු සිය දහසක් විරුවන්ගේ ප්‍රාණය නිරුද්ධ සිරුරු ඒ පස් තට්ටු වලට යටින් තැන්පත් වෙලා තිබුනේ භුමියේ අයිතිය කියා පාන්න වගේ.

(මේ තියෙන්නෙ ෆ්ලාන්ඩර්ස් පෙදෙස පළවෙනි ලෝක යුද්දෙ කාලෙ)





(මේ තියෙන්නෙ ෆ්ලාන්ඩර්ස් පෙදෙස වර්තමානයේ දිස් වෙන ආකාරයයි)



(පිකාඩිය එදා)


(පිකාඩිය - අද)



බැලු බැලූ අත තිබුනේ යෝධ හිස් පිට්ටනි වගේ දිස්උන විශාල සුසානයන් විතරයි......











මේ අතරතුර විශේෂ යමක් මේ පාලු සුසාන භූමි වල සිදුවෙමින් පැවතුනා....මියගිය සොල්දාදුවන්ගේ සිරුරු මිහිදන් වෙලා තිබුන ඒ බිම පස් කඳු මතින් ලෝහිත වන් කළාලයක් වැන්නක් දිස්වෙමින් පැවතුනා.ලක්ෂ ගණනින් පොපි මල් පීදිලා යුධ ගින්නෙන් දැවුණ තුරු විටප පිසගෙන හමා එන මඳ පවනේ ලෙළදෙන්නට උනා.



ඔය අතරේ රාජකීය කැනේඩියානූ යුද හමුදාවේ කාලතුවක්කු රෙජිමේන්තුවේ වෛද්‍ය ඒකකයේ සේවය කළ ලුතිතන් කර්නල් ජෝන් ඇලෙක්සැන්ඩර් මැක්ක්‍රේ (John Alexander McCrae- November 30, 1872 – January 28, 1918) මේ ප්‍රදේශයේ වූ යුද ව්‍යසනය නිසා සෑහෙන කම්පා උනා, ඔහු තමන්ගේ දින පොතේ මෙන්න මෙහෙම තමුන්ගේ සිතුවිලි,වචන වල දියකර හැරියා...



In Flanders fields the poppies blow
Between the crosses, row on row,
That mark our place; and in the sky
The larks, still bravely singing, fly
Scarce heard amid the guns below.

We are the Dead. Short days ago
We lived, felt dawn, saw sunset glow,
Loved and were loved, and now we lie
In Flanders fields.

Take up our quarrel with the foe:
To you from failing hands we throw
The torch; be yours to hold it high.
If ye break faith with us who die
We shall not sleep, though poppies grow
In Flanders fields.



"ෆ්ලාන්ඩර්ස් පෙදෙස පුරා පොපි මල් පූදියි
සනිටුහන් කරයි පෙළින් පෙළ
කුරුස අතරින් අප සෙහොන් කොත්
ඉඳහිට අහසේ අභීත ව ගැයෙනා
ගී නද කොවුලන්ගේ
ඇසෙයි හඬ අවි අතරින් අවි දැරූ දෙරණේ


පෙර දිනකට පෙර මියැදුණේ වෙමු අපි
ජීවත්වීමු, විඳ ගතිමු අරුණෝදය
නැරඹුවෙමු බැබලෙන බැසයන හිරු
ආදරය කළ හා ආදරය ලද අපි
වැතිර සිටින්නෙමු දැන්
‍ෆ්ලාන්ඩර්ස් බිම් යායේ


සතුරා සමඟ අරගලය භාරගනු මැන
ඇද වැටෙන අත්ලෙන්
ඔබ දෙසට විසි කරන
ඉහළට එස වූ ගිනි සිළුව ඔබේ විය යුතුය
මියැදුණ අප කෙරෙන් විශ්වාසය කඩ කළොත් ඔබ
වැඩුණත් පොපි ෆ්ලාන්ඩර් බිම් යායේ
නිදි නොගන්නෙමු සදහට ම අපි


අවාසනාවකට මේ නිලදරුවත් කුරිරු යුද්ධයේ තවත් බිල්ලක් බවට පත් උනා 1918 ජනවාරි 28 වෙනිදා.
ඒ වසරේම,ඒ කියන්නේ 1918 11 වෙනි මාසේ 1100 පැයට මුළු ලෝකෙම සලිත කළ කුප්‍රකට පළමු ලෝක යුද්ධය අවසන් උනේ,යුද්ධයේ කුරිරු බැවින් පීඩිත සකල ලෝකවාසී හැමදෙනාගේම හිත් වලට සාමයේ සිහිල් නල රැල්ලක් හමා යමින්.



ලුතිතන් කර්නල් මැක්ක්‍රේගේ සේවය පසසමින් ‍අමෙරිකානූ තරුණ සංගමයක යුද ලේකම්වරියක ලෙස කටයුතු කරපු මොයිනා මිචෙල් (Moina Belle Michael - August 15, 1869 - May 10, 1944) මහත්මිය "දැන් රතු පොපි සහ ගිනි සිළුව පළඳින්නෙමු, ප්‍රණාමය ලෙස අප මියැදුණන්ගේ " ලෙසින් පිළිතුරු පැදි පෙළක් නිර්මාණය කළා.

Oh! you who sleep in Flanders Fields,
Sleep sweet - to rise anew!
We caught the torch you threw
And holding high, we keep the Faith
With All who died.
We cherish, too, the poppy red
That grows on fields where valor led;
It seems to signal to the skies
That blood of heroes never dies,
But lends a lustre to the red
Of the flower that blooms above the dead
In Flanders Fields.
And now the Torch and Poppy Red
We wear in honor of our dead.
Fear not that ye have died for naught;
We'll teach the lesson that ye wrought
In Flanders Fields.
In Flanders Fields we fought


"සැතපෙන ඔබ ෆ්ලාන්ඩර්ස් බිම් යායේ
නිදිගන්න සැපසේ නැගිටින්න ප්‍රමුදිත ව
ඉහළට ඔසවා තබන ලෙස
විසි කළ ගිනි සිළුව ඔබ
අල්ලා ගතිමු අපි
තබන ලෙස විශ්වාසය
මියැදුණ ඔබ විරුවන්ගේ


අගයමු අපිත් පොපි රත් පැහැය
වැඩෙනා බිමෙහි විකුම් පෑ වර්ණයෙන් ලෝහිත ව
දිස්වන අහස් කුස සලකුණක් සේ
ඒ විරුවන්ගේ රුධිරය සදා නොමියෙනු ඇත


සිරුරු මත පිපෙනා ඒ රතු මල්
පුද දෙයි ගෞරවය ෆ්ලාන්ඩර්ස් බිම් යාය පුරාවට


පළඳින්න ගිනි සිළුව සමඟ ලෝහිත පොපි මල
අපෙන් සමුගත් විරු කැළ සදා සමරනු ලෙස
බියක් නොතකන ලෙසින් සමුගත්
ඔබේ හැඟුමෙන් අපි උගත්තෙමු
ෆ්ලාන්ඩර්ස් බිම් කෙත පුරාවට
ඔබගේ ඒ ආදර්ශය"






පළමු වතාවට යුද්ධයෙන් මියගිය රණවිරුවන් සිහිකරලා ඇය විසින් පොපි මලක් පළඳින්නට උනා.ඒ විතරක් නෙවෙයි තමුන්ගේ මිතුරන් අතරේ පොපි මල් විකුණලා ඒ ලැබුන මුදලින් මියගිය රණවිරුවන්ගේ පවුල් වලට ආධාර කරන්නට උනා.
ඇයව තවත් දිරිමත් කරමින් ප්‍රංශ ජාතික මෙදෙස්හි ගෝරින්ග් නමැත්තිය විසින් කෘත්‍රිම පොපි මලක් නිපදවා ඒවා විකුණලා ඒ මුදල් රණවිරු පවුල් වල සුභසාදනයට යෙදෙව්වා.
ඔන්න ඔය විදියට තමයි පොපි සැමරුම ආරම්භ වෙලා තියෙන්නේ.

(මේ තියෙන්නෙ රෙදි වලින් මුලින්ම නිපදවපු පොපි මලක්. )



බ්‍රිතාන්‍යයේ 1921දී තමයි පොපි සැමරුම ආරම්භ කරලා තියෙන්නේ,එදා ඉඳන් සියලුම පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල් නිහඬව පොපි මල් පලඳීමින් ඒ අචීත රණවිරුවන් සැමරීම කරගෙන යනවා.
ශ්‍රී ලාංකිකයන් ලෙස අපි පොපි මලක් පැළඳ ඔවුන්ට බුහුමන් දැක්විය යුත්තේ අපි පොදුරාජ්‍ය මණ්ඩලීය රටක් හින්ද නම් නෙවෙයි,ඉහතදී මම කිව්වා වගේ පුරා වසර තිහක් මුළුල්ලේ රටක් හඬවපු කුරිරු පර සතුරන් නසලා කෝටි දෙකකට ආසන්න ජනතාවක් එකම කොඩියක් යට එක්සේසත් කිරීමේ උත්තම කාර්‍යය වෙනුවෙන් රුහිරු පුදකළ ඒ උතුම් මිනිසුන් වෙනුවෙන් අපි අපිට හැකි විදියකින් කෘත ගුණ දැක්විය යුතු හන්දයි.

එදා....ඔවුන් හැකි උපරිමෙන් තම මව්බිම වෙනුවෙන්,අපි වෙනුවෙන් හුදෙක් රාජකාරියකට ඔබ්බෙන් ගිය තමන්ගෙ යුතුකම් ඉටුකලා.



ඒත්...........අද ඉන්නේ අපි විතරයිඔවුන් වෙනුවෙන් අපි අපේ යුතුකම ඉටු කරමු.අඩුම තරමේ එක පුංචි රුපියලක් දීලා පොපි මලක් අරගෙන ඔවුන්ට අපේ නිහඬ කෘතවේදීත්වය පිරි නමමු.